Sunday, February 12, 2012

තුන් නිවුන් කොටි දැරියන් බොඳකළ බලාපොරොත්තුව


"කොටියා" යන වදනෙහි යම් පැටලැවිල්ලක්‌ ඇති බව එය ඇතැමුන් භාවිතයට ගන්නා අයුරින් පෙනෙන්නට තිබේ. ඒ ඇතැමුන් කොටියා යනු Tiger යන පදයෙහි සිංහල පරිවර්තනය ලෙස යොදා ගන්නා නිසාය. ඇත්තටම Tiger යනු "වග" හෙවත් ව්‍යාඝ්‍රයාය. ආසියාවේ පමණක්‌ දිවිගෙවන ව්‍යාඝ්‍රයාගේ "බෙංගාලි රාජකීය ව්‍යාඝ්‍රයා (Bengal Royal Tiger) අපගේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ගියවිට දැකගත හැකිය. ඒ හැරෙන්නට දැන්නම් ව්‍යාඝ්‍රයන් ලංකාවේ වනාන්තරවල දිවිගෙවන්නේ නැත. අපි "කොටියා" කියන්නේ ශ්‍රී ලංකාවේ දිවියාටය. (Sri Lanken Leopard) මොහු විද්‍යාත්මකව හඳුන්වන්නේ (Panthera pardus kotiya) නමිනි. අපේ දිවියා හෙවත් කොටියා අප්‍රිකානු හෝ (අනිකුත්) ආසියානු දිවියන්ගෙන් වෙනස්‌ ඩී. එන්. ඒ. රටා පෙන්වන, අලංකාරවත් දේශයටම අනන්‍යතාවක්‌ ඇති බළල් පවුලේ විශාල සාමාජික (Big Cat)යෙකි. කොටින්ම "කොටියා" අප රටට ආවේණික වූත්, අපගේ ජෛව විවිධත්වයට සාඩම්බරය කැන්දූත් දුලබ, රැකගත යුතු සත්ත්වයෙකි.

ශ්‍රී ලංකාවේ වනාන්තර තුළ දිවිගෙවන්නේ කෙතරම් කොටියන් ප්‍රමාණයක්‌ද යන්න තවමත් හරිහැටි සමීක්‍ෂණය කර නැත. එනිසා ඒ ගැන නිවැරැදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීම සුදුසු නොවන කාර්යයකි. යාල වනෝද්‍යානයේ කලාප අංක එක ඇතුළු අනෙකුත් කලාපවලද, කුමන වනෝද්‍යානය, විල්පත්තු වනෝද්‍යානය, වස්‌ගමුව, හෝර්ටන්තැන්න හා නුවරඑළිය වනාන්තර ආශ්‍රිතවද කොටියන් තරමක්‌ වැඩිපුර දැකගත හැකි ප්‍රදේශ ලෙස සැලකේ. එහෙත් වන්නි කැලෑව, නැගෙනහිර ප්‍රදේශයේ ත්‍රිකෝණමඩු, සෝමාවතිය, තොප්පිගල, මාදුරුඔය, මින්නේරිය, අම්පාර - ලාහුගල වැනි ප්‍රදේශවලින්ද, දුම්බර හා සිංහරාජයේ සුළු වශයෙන්ද කොටි වාර්තා වෙති. මීට පරිබාහිරව ඉඳහිට වෙනත් වනරක්‍ෂිත හා අභය භූමිවලින්ද කොටියන් වාර්තා වුණු අවස්‌ථා ඇත. පසුගිය කාලය පුරාවට මිනිස්‌ දඩයමට ලක්‌ව අකාලයේ මියගිය කොටියන් ගණන සැලකිය යුතු මට්‌ටමක පැවතීමත්, මෙවන් රැකගත යුතු දුලබ, වඳවී යැමේ තර්ජනයට ලක්‌වූ සතකුට අත්වූ දුක්‌ඛදායක ඉරණම පිළිබඳවත් අප කනගාටු විය යුතුය. කොටියන් සම් සහ මස්‌ පිණිස මරා දැමූ අවස්‌ථා කිහිපයක්‌ම පසුගිය දිනවලදී වාර්තා විය. මෙවන් තත්ත්වයක්‌ තුළ පසුගිය දිනෙක අපට තම්බෝව අභයභූමිය (පුත්තලම) ප්‍රදේශයෙන්ද අසන්නට ලැබුණේ ඉතාමත් කනගාටුදායක ප්‍රවෘත්තියකි. එනම්, කොටි පැටවුන් තිදෙනකුගේ මවක්‌ දඩයක්‌කරුවකුගේ ගොදුරක්‌ව මිය ගිය පුවත හා ඒ වනවිටත් එම පැටවුන් තිදෙනා කිරි බොන මට්‌ටමේ පසුවන ළදරුවන්ව සිටි බවකි.

(මෙම කොටි දෙන සම් පිණිස මරා එම සමද මෙම කුඩා පැටවුන් තිදෙනාද ප්‍රදේශයේ දේශපාලකයකුගේ භාරයේ තිබී පසුව වනජීවී අංශයට බාර කළ බවක්‌ද මේ අතර අපට අසන්නට ලැබේ.)

කෙසේ හෝ මෙම හුරුබුහුටි කොටි පැටවුන් දෙදෙනා දැන් සිටින්නේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ඉදිවූ විශේෂිත කූඩුවක්‌ තුළය. 2011 ජුලි මස 3 වැනිදා සත්වෝද්‍යානයට භාර කෙරුණු මෙම නිවුන් පැටවුන් තිදෙනාගේ දැන් වයස යාන්තම් මාස 8 ක්‌ පමණ වී ඇත. ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් හා පෝෂණයකින් සමන්විත මෙම පැටවුන් තිදෙනා ආරක්‍ෂාව හා රැකවරණය අතින්ද ඉතා යහපත් තත්ත්වයක පසුවන්නේ සත්වෝද්‍යානයේ සුවිශේෂ කාර්යභාරය හේතුකොට ගෙනය. අවස්‌ථා දෙකකදීම මෙම පැටවුන් මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කළද එම අවස්‌ථා දෙකම මට මඟහැරී ගියේය. එහෙයින් සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ භාෂ්වර සේනානායක ගුණරත්න මහතාගේ විශේෂ අවසරයක්‌ මත ඔවුන්ගේ තතු සොයා බැලීම සඳහා එහි යැමට මට පසුගියදා අවස්‌ථාවක්‌ උදාවිය. අපගේ මාණ්‌ඩලික ඡායාරූප ශිල්පී ජූඩ් ඩෙන්සිල් පතිරාජ සමඟ ඒ අනුව මා එහි ගියේ සත්වෝද්‍යාන අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතාගේ මැදිහත්වීම මත පශු වෛද්‍ය නිලධාරිනී ගංගා ජයසිංහ මෙනවිය සමඟිනි.

අප එහි යනවිටත් මේ දඟකාරයන් තිදෙනා කූඩුව තුළ ඔබ මොබ ඇවිද ගියේ තරමක්‌ රෞද්‍ර බැල්මකින් වත සරසාගෙනය. දුටුවන් පිනවන මේ පැටවුන් තිදෙනා දඟකාරයන් ලෙස හැඳින්වුවද ඇත්තටම මේ තිදෙනා නිවුන් සොයුරියන්ය. නැතහොත් ගැහැනු පැටවුන් තිදෙනකි. අද ළමා වයසේ කූඩුවකට වී සිටියද මේ කොටි දැරිවියන්ගේ අනාගතය මා දුටුවේ තරමක්‌ ප්‍රශ්නාර්ථයකින් යුතුවය. එනම්, ශ්‍රී ලංකාවෙන් පමණක්‌ නොව මුළු මහත් වනජීවී ලෝකයෙන්ම වඳවී යැමේ තර්ජනයට ලක්‌ව සිටින "කොටියා" සංරක්‍ෂණය කර ගැනීමේ දුලබ වරමක්‌ මේ නිවුන් සොයුරියන් හරහා අප වෙත ලැබී තිබේ. "කරනවානම් මෙන්න වැඩ" යෑයි සිතෙන තරමට මෙම පැටවුන් තිදෙනාට සුදුසු සහකරුවන් සොයා දී උඩවලවේ තැනූ ආකාරයට ඇත් අතුරු සෙවණක්‌ බඳු දිවි (කොටි) අරණක්‌ද මෙරටේ ආරම්භ කළ හැකිව තිබිණි. එමගින් කොටි සංරක්‍ෂණයේ වැදගත් පිටුවක්‌ පෙරැළීමට හැකියාව තිබුණද වනජීවී දෙපාර්තමේන්තුව මෙම කොටි තිදෙනා සත්වෝද්‍යානයට භාරදී තම වගකීමෙන් කර හැරියේද යන්න මට ප්‍රශ්නයක්‌ ඉතිරිව තිබේ. කොටියන් බෝ කරන මධ්‍යස්‌ථානයක්‌ මගින් මෙරට කොටි ගහනය සැලකිය යුතු ලෙස වර්ධනය කර ගැනීමේ අවස්‌ථාව තවමත් ගිලිහී ගොස්‌ නැති වුවද, මේ කොටිලියන් තිදෙනා තවදුරටත් මෙසේ කූඩුගත කර තනිව නොතබා ඔවුන්ට සුදුසු සහකරුවන් සොයා දී පැටවුන් බිහිකරගැනීම සත්වෝද්‍යානයක්‌ වැනි පරිබාහිර සංරක්‍ෂණ (Exsitu Conservation) මධ්‍යස්‌ථානයකදී වුවද සිදුකර ගත හැකිය. අප මෙම පැටවුන් තිදෙනාගේ ඡායාරූප එකින් එක පෙළ ගස්‌වද්දී මා සිත තුළ වද දුන් එම කාරණය විස\d ගැනීමට මා කල්පනා කළේ සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂවරයාගෙනි. ඒ දැනටමත් ඔහු තුළ එවන් වැඩපිළිවෙළක්‌ තිබේ යෑයි සැක කළ නිසාවෙනි.

භාෂ්වර සේනාංක ගුණරත්න, සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ සඳහා අපට දුන් පිළිතුරු මෙවැනිය.

"ඇත්තටම අපි මේ දිවි පැටවුන් තිදෙනා ගැන අනාගත සැලසුමක්‌ හදලයි තියෙන්නේ. ඔවුන්ට ගැලපෙන මට්‌ටමේ සහකරුවන් දෙදෙනෙක්‌ දැනටමත් අපේ සත්වෝද්‍යානයේ ඉන්නවා. ඒ මගින් අභිජනන කටයුතු සිදුකර ගත හැකියි. මේ පැටවුන්ට දැන් වයස මාස 8 - 9 ක්‌ විතර වෙනවා. ඔවුන් දිනෙන් දින වැඩෙනවා. තාරුණ්‍යයට ලක්‌වෙනවා. එක්‌ කොටි පැටියෙක්‌ අපි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ රඳවාගෙන මහජන ප්‍රදර්ශනයට තබන අතරම තවත් පැටියෙක්‌ මගින් යෝජිත පින්නවල එළිමහන් සත්වෝද්‍යනයේ "දිවි අරණ" නමැති කලාපය ආරම්භ කරනවා. අනෙක්‌ පැටියා දැන් ඉදිවෙමින් පවතින හම්බන්තොට සෆාරි උද්‍යානයේ ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අවස්‌ථා තුනේදීම අපි මෙම කොටි පැටවුන්ගේ අභිජනන අවශ්‍යතා ගැන විශේෂයෙන් සලකා බලා කටයුතු කරනවා. එය ශ්‍රී ලංකාවේ කොටියන් සංරක්‍ෂණය සඳහා සුවිශේෂ කාරණයක්‌ බවට පත්වේවි." ගුණරත්න මහතා සඳහන් කරයි.

කෙසේ හෝ මේ කොටි පැටවුන් දකින කල අපට නිරතුරු සිහිපත් වූයේ රටේ අභිමානයය. ජෛවවිවිධත්වයෙන් අපේ රට ලොව බොහෝ රටවල් පරයා සිටින බව ඉදින් මේ නිවුන් සොයුරියන්ගෙන් අපේ රටේ කොටි ගහනය බැබලවීමට ඇති හැකියාව සඵල වෙනු දැක්‌මද අපගේ ඒකායන බලාපොරොත්තුව විය. එහෙත්....


සැබෑ නොවූ සිහිනයක තරම


සැබෑවන සිහින තිබුනද සිහින සියල්ලක්‌ සැබෑ නොවේ. එහෙත් තුන් නිවුන් කොටි පැටවුන් ලොකු මහත්වී අභිමානවත් කොටි පරපුරක්‌ බිහිකරනු ඇතැයි අපි සිහින මැව්වෙමු. හුදෙක්‌ කූඩුවකට වී ලගින ප්‍රදර්ශන භාණ්‌ඩයක්‌ පමණක්‌ බවට පත්වී ආත්මය අහිමිකරගත් වනසත්වයකු වනවාට වඩා, මේ කොටි පැටවුන් වනාන්තරයේ ලගින, වනාන්තරය ජෛව විවිධත්වයෙන් පෝෂණය කරන සාඩම්බර හිමිකරුවන් වනු ඇතැයි අපි සිහින මැව්වෙමු. තබ්බෝවේ සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පැමිණි කොටි පැටවුන්ගේ දුක සැප විමසන්නට අප පසුගියදා එහි ගියේ එවන් බලාපොරොත්තු ඇතිවය. ඒ මතුද නොව අද මේ සොඳුරු දසුන්වලින් යුතු විශේෂාංගයකට අප පෙළඹූයේද ඒ බලාපොරොත්තු ඇතිවිය. ඒ සිහින බිඳ දමමින් තුන් නිවුන් කොටි පැටවුන්ගෙන් දෙදෙනෙක්‌ 8 දා හදිසියේ මිය ගිය බව අපට ආරංචි වූයේ අපගේ ඉහත ලිපිය මුද්‍රණයට යන්නට මොහොතක්‌ තිබියදීය. මේ පිළිබඳව අප කළ කරුණු විමසීමකදී දැන ගන්නට ලැබුණේ හඳුනා නොගත් රෝගයකින් මොවුන් මිය ගොස්‌ ඇති බවකි. එය වෛරස්‌ රෝගයක්‌ යෑයි සැක කරන බවද ඉතිරි පැටවාද රෝගයට ගොදුරුව සුවපත් වෙමින් සිටින බව හා මොවුන් බේරා ගන්නට සත්ත්ව උද්‍යාන බලධාරීන් හා කාර්යමණ්‌ඩලය සෑම උත්සාහයක්‌ ගත් බවද එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

ජගත් කණහැරආරච්චි
ඡායාරූප - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

http://www.divaina.com/2012/02/12/feature06.html

No comments:

Post a Comment