
රජරට ගොවි බිමේ ඉමක් නොපෙනෙන යායේ බොහොමයක් කුඹුරුවල ගොයම මේ දිනවල පීදෙමිනි. නැතහොත් පීදෙන්නට ආසන්න බණ්ඩි ගොයම්ය.
අපමණ දුක් කන්දරා උහුලමින් නියෑළෙන ගොවිතැනේ අස්වනු පූදින අවදිය ගොවි සිතට සතුට ගෙන දෙන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ නමුදු පුලතිසි ගොවි බිමට අයත් අලුත්වැව වෙල්යායේ තම පූදින ගොයම දෙස බලා දුක් සුසුම් හෙළන ගොවියන් පිරිසකගේ කඳුළු කතාන්දරයකි මේ.
මෙම ගොවි පිරිස් තම වෘත්තියෙහි යෙදෙනුයේ බොහෝ කලක පටන්ය. හුරුපුරුදු වී මෙතෙක් කරගෙන ආ ගොවිතැන අලුත්වැවේ, වැව පහළ ගොවියන්ට මෙදා වැරදුණේය. එය ඔවුනගේ වරදකින් නොව හොර බිත්තර වී ජාවාරමක වරදිනි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමත බිත්තර වී ලෙසින් වෙළෙඳපොළට නිකුත් කරනු ලැබ තිබී මිලදී ගෙන වගා කළ එම බිත්තර වී වලින් පැළ වී ඇත්තේ වල් වී වර්ගයකි. එය එසේ මෙසේ වල් වී ප්රභේදයක් නොව ගොවි බිම් ගිල ගන්නා නරුම වී ප්රභේදයකි. අලුත්වැවේ, වැව පහළ ගොවියන් මේ බව දැන ගත්තේ කුඹුරු වගා කොට මාස තුනක්, තුනහමාරක් ගත වෙද්දීය. එනම් ගොයම පූදින විටය. කුඹුරු යායකට හෝ කුඹුරකට තබා එය හතර මායිමකවත් වද්දාගත යුතු නැති බිහිසුණු වල් වී ප්රභේදයක් තම කුඹුරුවල වපුරා, වෙහෙස මහන්සි වී පෝෂණය කර ඇති බව දැනගන්නා විට මේ ගොවි පිරිස බොහෝ සේ ප්රමාද වී තිබේ.
ඒ පිළිබඳව ඔවුහු තම හඬ අවදි කළේ මේ අයුරිනි.
අපි මේ බිත්තර වී සල්ලි දීලා ගත්තේ. පොළොන්නරුව, කදුරුවෙල කෘෂිකර්ම කාර්යාලය ආසන්නයේ තියෙන බිත්තර වී විකුණන පෞද්ගලික වෙළෙඳසල්වලින්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ නිර්දේශිත බිත්තර වී කියල ඇසුරුම්වල තිබුණා. ලියාපදිංචි අංක සඳහන්වෙලා තිබුණා. කිසිම කෙනෙක් හිතන්නේ නෑ මේවා හොර බිත්තර වී කියලා. වී කිලෝ 20 යි ග්රෑම් 50 ක් රුපියල් 1050.00 ගානේ දීලා අපි ගත්තේ..... බී. ජී. 379/2 කියන වී වර්ගය අපි වගා කළේ. ඒක මාස 4 1/2 වැඩි වයස් වී වර්ගයක්. හැම වියපැහැදමක්ම කරලා තෙල් පොහොර ගහලා ගොවිතැන හොඳට කළා. දැන් ගොයම පූදිනවා. සමහර ඒව පීදිලා ඉවරයි. තට්ටු ගණනාවකට ගොයම පූදින්නේ. හොයලා බලනකොට තමා දන්නේ මේවා වල් වී කියලා.
කෘෂිකර්ම මහත්තුරුන්ට, නෝනලට දැනුම් දුන්නම ඒ අය ඇවිත් පරීක්ෂා කරලා බලල කිව්වා මේක වල් වී ප්රභේදයක් කියලා. ඒ හින්දා මේ වගාව විනාශ කරන්න වෙනවා කියලා ඒ අය කිව්වා. ඒ විතරක් නෙවෙයි ඉදිරියටත් කන්න ගණනාවක් අපිට මේ කුඹුරුවල ගොවිතැන් කරන්න ලැබෙන එකක් නෑ කියලත් ඒ මහත්තුරු කිව්වා. දැන් අපි දස අතේ කල්පනා කරන්නේ මොනවාද කරන්නේ කියලා "අලුත්වැව එකමුතු ගොවි සංවිධානයේ සභාපති නිමල් කුමාරසිරි ජයසිංහ මහතායි අප සමග එසේ අදහස් පළ කළේ.
Read full article:
http://www.divaina.com/2012/02/12/feature16.html
No comments:
Post a Comment