ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යන ලකුණු
අරුණි මුතුමලී
ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල ශිඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා පවසයි. මෙයට ප්‍රධාන හේතුව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඉරානයට සම්බාධක පැනවීම පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කිරීමත් ඊට අමතරව ශීත ඍතුවේ ඉන්ධන භාවිතය වැඩිවීමත් බව ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මේ තත්ත්වය ශ්‍රී ලංකාව වැනි රටකට කිසිසේත් පාලනය කිරීමට හැකි දෙයක් නොවන අතර දිය හැකි එකම විසඳුම වන්නේ ඉන්ධන පරිභෝජනය අරපිරිමැසුම් දායක අයුරින් සිදු කිරීම පමණක් බව ද ලේකම්වරයා පෙන්වා දෙයි.
මෙරට අවශ්‍යතාවෙන් සියයට 30 ක් පමණ බොරතෙල් ගෙන්වා මෙහිදී පිරිපහදු කරන අතර ඉතිරිය පිටරටින් ඍජුව ආනයනය කරනු ලබයි. මෙරටට ගැලපෙන ඉන්ධන වර්ගය වන ඉරැනියන් ලයිට් හා සම කළ හැකි වර්ග වන්නේ සෞදි අරාබියේ නිපදවන ඇරැබියන් ලයිට් සහ ඕමාන් ලයිට් වැනි සීමිත වර්ග පමණකි. නමුත් තෙල් පිරිපහදුවේදී වැඩි අස්වැන්නක් ලැබෙන්නේ ඉරැනියන් ලයිට් වර්ගයෙනි. පසුගිය වසරේ මෙරටට ගෙන්වන ලද බොරතෙල් මෙට්‍රික් ටොන් මිලියන දෙකක් පමණ ප්‍රමාණයෙන් මිලියන 1.93 ක් පමණ ම ගෙන්වා ඇත්තේ ඉරානයෙනි. ඉතිරිය සෞදි අරාබියෙනි. මෙරට ඉන්ධන අවශ්‍යතාව මසකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 55000 ක් ද ඩීසල් මෙට්‍රික් ටොන් 169000 ක් ද පමණ වෙයි. ජාතික විදුලිබල පද්ධතිය සඳහා ද ඉන්ධන මෙට්‍රික් ටොන් 18000 ක් පමණ භාවිත කැරෙන බව ද ලේකම්වරයා පෙන්වා දෙයි.
මේ වනවිට ඉදිරි දින 40 කට පමණ ප්‍රමාණවත් ඉන්ධන ගබඩාවල ඇති බව ද තෙල් සපයා ගැනීමේදී කිසිදු බාධාවක් ශ්‍රී ලංකාවට ඇති නොවන බව ද ප්‍රකාශ කළ අමාත්‍යාංශ ලේකම් සමරතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වනවිට මෙරට අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්ධන සපයා ගත හැකි රටවල් සමඟ මේ වනවිටත් රජය සාකච්ඡා පවත්වමින් සිටින බවයි. කෙසේ වෙතත් ලෝකයේ පවතින දේශපාලන හා පාරිසරික තත්ත්වය යවතේ ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලයක මිල ජනවාරියේ සිට මේ වනවිට ඩොලර් නවයකින් පමණ ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන මිල ඉහළ යෑම කිසිදු රටකට පාලනය කළ නොහැකි බවත් විකල්ප ඉන්ධන සඳහා යොමු වීම සහ නිසි කළමනාකරණයකින් යුතුව ඉන්ධන භාවිතයට යොමු වීම එකම විසඳුම බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේ ය.
http://www.silumina.lk/2012/02/12/_art.asp?fn=aa1202121
No comments:
Post a Comment