Friday, August 5, 2011

ආනයනික කෘමි නාශකවල සයනයිඩ්

මේ ද්‍රව්‍යවල සයනයිඩ්, ආසනික් හා රසදිය යන ශරීරයට අහිතකර සංඝටක තුනම අන්තර්ගතයි - රතන හිමි


සමන්මලී ප්‍රියශාන්ති සහ චන්දිමා එදිරිමාන්න


විවිධ බහුජාතික සමාගම් විසින් ශ්‍රී ලංකාවට ගෙන්වන පලිබෝධ නාශක, කෘමි නාශක හා දිලීර නාශකවල සයනයිඩ් අඩංගු බවට මැලේසියාවේ විද්‍යාගාරයකදී කරන ලද පරීක්ෂණයක් මඟින් තහවුරු කර ඇත.එම ද්‍රව්‍යයන්ගේ ආසනික් ඇත් දැයි පරීක්ෂා කිරීමට මේ පරීක්ෂණය සිදු කළ බවත්, ආසනික්වලටත් වඩා වැඩියෙන් සයනයිඩ් තිබෙන බවට එම පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ.

මෙරට භාවිත කරන පලිබෝධ, දිලීර හා කෘමි නාශක වර්ගවල ආසනික් ඇති බවට විද්‍යාඥයින් කණ්ඩායමක් හෙළි කළත් ඒ පිළිබඳව පිළිගත හැකි පර්යේෂණයක් මඟින් තහවුරු කර නැතැයි විවිධ පාර්ශවයන් ප්‍රකාශ කළ හෙයින් මැලේසියාවේ ක්වාලාලමිපූර් නගරයේ පිහිටි ලොව පිළිගත් ජාත්‍යන්තර තත්ත්ව සහතික ලත් විද්‍යාගාරයකදී මේ පරීක්ෂණය සිදු කළ බව උන්වහන්සේ සඳහන් කළහ. අදාළ වාර්තාවට අනුව මේ ද්‍රව්‍යවල සයනයිඩ්, ආසනික් හා රසදිය යන ශරීරයට අහිතකර සංඝටක තුනම අන්තර්ගත වන බව ඔප්පු වී ඇතැයි ද රතන හිමියෝ පැවැසූහ. උන්වහන්සේ මේ කරුණු අනාවරණය කළේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනයේ දී ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදීය.

මේ පරීක්ෂණයට යවන ලද පොහොර සාම්පල් නීතිඥයකු ලවා සහතික කර සීල් තබා මැලේසියාවට ගෙන ගිය බවත් මේ නිසා මෙහිදී කිසිඳු වංචාවක් සිදු නොවූ බවත් රතන හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

No comments:

Post a Comment