ජාවාරම්කරුවන් වනයට ඇතුළු වී ඇත්තේ පාපැදි වලින්
කුඩා කණ්ඩායම් වශයෙන් සෝමාවතී ජාතික උද්‍යානයට ඇතුළු වී ඉතා සූක්ෂ්ම ලෙස දැව ජාවාරම්වල යෙදෙමින් රක්ෂිතයේ විවිධ ස්ථානවල වන විනාශයන් සිදු කර ගෙන යන වන අපරාධ කණ්ඩායම් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලි පාලන ඒකකය කියයි.
දැව ජාවාරම් වල යෙදෙන මෙම පිරිස් උගුල් අටවා සතුන් දඩයම් කිරීමද ජයටම කරගෙන ගොස් ඇතැයිද ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ එවැනි කුඩා කණ්ඩායමක දෙදෙනෙකුගෙන් අනාවරණය වQ බව කන්තලේ අලි පාලන ඒකකයේ වනජීවී අඩවි සහකාර ජේ. ඒ. පී. විජේකුමාර මහතා පැවසීය.
මැදිරිගිරිය ප්‍රදේශයෙන් පාපැදිවලින් රක්ෂිතයට ඇතුළු වන මෙම කණ්ඩායම් දින ගණනාවක් රක්ෂිතයේ රැඳී සිටිමින් ඉතා වටිනා දැව කපා පට්ටල් සාදා ඉරා පාපැදි වලින් රැගෙන එන බව මෙම සැකකරුවන් ප්‍රකාශ කර ඇතැයි කියයි.
මහා පරිමාණයෙන් දැව ජාවාරම් සිදු කිරීමේදී පිරිස් බලය වැඩි වශයෙන් යොදා ගැනීමට සිදුවීමත් මේ නිසා තොරතුරු පිටතට යෑමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බැවින් කුඩා කණ්ඩායම් වශයෙන් සැදුම් ලත් පිරිස් අත් කියත්, බණ්ඩි කියත්, භාවිතා කරමින් මෙම වන විනාශයන් සිදු කර ඇතැයි වන ජීවී අඩවි සහකාරවරයා පෙන්වා දුන්නේය.
ඉතා වටිනා බුරුත, පලු ගස් කපා ලෑලි වලට ඉරා ඇති අයුරු එහි දමා ගිය පිට පලු වලින් ඔප්පු වී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
වන විනාශයන් වල යෙදෙන මෙම දැව ජාවාරම්කරුවන් ගල් උගුල් අටවා සතුන් දඩයම් කර ඇති අයුරු මෙහිදී දැක ගැනීමට හැකිවී තිබේ. ගල් උගුල් යනු ලී කණු හතරක් සිටුවා ඒ මත අට්ටාලයක් සාදන මෙම ජාවාරම්කරුවන් ඒ මත විශාල ගල් තබයි.
අනතුරව එක් කණුවක් අඩමානයට තබන මොවුන් කණු හතර මැදි කර ආහාර දමයි. බඳීන කඳන් මෙන් හතර පැත්තට නුලක් ගැට ගසන අතර දමා ඇති ආහාර ගැනීමට ඇතුළුවන සත්තු එම නූලේ ගැටෙත්ම අඩමානයට ඇති කණුව ගැලවෙනවාත් සමගම ගල් සහිත අට්ටාලය සතා මතට වැටී මිය යෑම හෝ අසුවීම සිදුවේ.
කන්තලේ පේරමඩුව ප්‍රදේශයෙන් රක්ෂිතයට ඇතුළු වූ වන ජීවී නිලධාරීන් රාත්‍රී කිහිපයක් පහන් කර මෙම තොරතුරු අනාවරණය කර ගැනිමටත් මේවාට සම්බන්ධ දෙදෙනකු අත්අඩංගුවට ගැනීමටත් දැඩි ආයාසයක් ගැනීමට සිදුවූ බව වනජීවී අඩවි සහකාරවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ වනජීවී අඩවි සහකාරවරයා.
1986 සැප්තැම්බර් 2 දා ජාතික උද්‍යානයක් බවට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම රක්ෂිතය වර්ග කිලෝමීටර් 377.62 ක් පුරා විසිරි පැතිරී තිබෙනවා.
මේ වන විට රක්ෂිතය තුළ විශාල ඉතා වටිනා දැව කපා ඇති අයුරු අපට පෙනුණා. ඒ අනුව දිගින් දිගටම පසුගිය දින කිහිපය පුරාම රක්ෂිතයට රහසිගතව ඇතුළු වී මෙම දැව ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා.
මොවුන් පවසන ආකාරයට රක්ෂිතයේ ඉතා වටිනා දැව කපා ගෙන ගොස් තිබෙනවා. විශාල වන විනාශයක් සිදුවී ඇති බව අපට නිරීක්ෂණය වුණා යැයි කීය.
මෙම වැටලීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ (මහවැලි) සිසිර කුමාර ද සිල්වා ගේ උපදෙස් මත කන්තලේ අලි පාලන ඒකකයේ වනජීවී අඩවි සහකාර ජේ. ඒ. පී. විජේකුමාරගේ මෙහෙයවීමෙන් වනජීවී නියාමකවරුන් වන ඩී. එම්. සෙනෙවිරත්න, අයේෂ් රසික, පූර්ණ නවරත්න, රියදුරු කේ. එම්. පත්මසිරි සිවිල් ආරක්ෂක භටයන් වන ජයතිස්ස, සංජය, පුලස්ති, සමන් යන නිලධාරීහු මෙම වැටලිම සිදු කර මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට සමත් වූහ.
http://www.dinamina.lk/2011/08/13/_art.asp?fn=n11081310
No comments:
Post a Comment