Tuesday, September 13, 2011

සිංහරාජයෙන් කැබැල්ලක්‌ කඩාගෙන කෑම!

ලෝක උරුමයක්‌ ලෙස සැලකෙන සිංහරාජ වනාන්තරය දෙකඩ කරමින් පාරක්‌ කැපීම අරඹා ඇතැයි ඊයේ (11 වැනිදා) "දිවයින ඉරිදා සංග්‍රහයේ" පළවී තිබේ. මෙය පරිසරවේදීන්ගේ ඉමහත් විරෝධයට හේතු වී ඇති බව ද දැනගන්නට ඇත. පාර කැපෙන්නේ සිsංහරාජයේ එක්‌ මායිමක ඇති කලවානේ සිට අනෙක්‌ මායිමේ ඇති සූරියකන්දට ඉක්‌මණින් යැම සඳහාය. කලවානේ සිට සූරියකන්දට යැම සඳහා දැනටමත් පාරවල් දෙකක්‌ තිබේ. ඒවා දිග පාරවල් ය. ඒ දෙකට අමතරව කෙටි පාරක්‌ අවශ්‍ය වන්නේ කලවානේ සිට සූරියකන්දටත්, සූරියකන්දේ සිට කලවානටත් හදිසියේ ඉතා ඉක්‌මණින් යැමට සිතෙන අය වෙනුවෙනි. ඔවුන්ට මධ්‍යම රාත්‍රි දොළහට පමණ සූරියකන්දට හෝ කලවානට යැමට හිතෙනවා ඇත. නො එසේ නම් පාන්දර දෙකට එහි යැමට හිතෙනවා ඇත. මෙබඳු හදිස්‌සිකාරයන් වෙනුවෙන් හෙලිකොප්ටර් කුලියට දෙන ආයතන මේ රටේ ඇතත් ඒවායේ ශාඛා කලවානේ හෝ සූරියකන්දේ නැති බව අපි ඉතා පැහැදිලි ලෙස දනිමු. එහිදී අප වඩා විමසිලිමත් විය යුතු වන්නේ සූරියකන්දට හදිසියේ යැමට ඇතැමුන්ට සිතෙන්නට හේතුව ය. සූරියකන්දෙන් රත්රන් මතු වී තිබේද? සූරියකන්දේ නිධන් තිබේද? මෙයට වසර විස්‌සකට පමණ පෙර සූරියකන්දෙන් සමූහ මිනී වළක්‌ මතු විය. අසූඅට - අනූනවය අවුරුදුවලදී ප්‍රේමදාස ආණ්‌ඩුව විසින් සංහාරය කෙරුණු ජ.වි.පෙ. ක්‍රියාකාරිකයන්ගේ මළ සිරුරු එම වළේ තිබූ බව පිළිගන්නා ලෙස, එම මළ සිරුරු සෙවීමේ ව්‍යාපාරය හරහා රටේ දේශපාලන බලය ඇල්ලීමට ක්‍රියා කළ පොදුජන එක්‌සත් පෙරමුණ විසින් සංවේදී ජනතාවට දන්වන ලදී. එම වළේ තිබුණේ තරුණයන්ගේ මළ සිරුරු වේවා, නොවේවා, 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ජනාධිපති වීමට සූරියකන්ද කළ මෙහෙවර ඉතා විශාල ය. එම කන්ද මෙරට දේශපාලනයේ හැරවුම් ලක්‍ෂයක්‌ නොඑසේ නම් ස්‌මාරකයක්‌ ලෙස සළකා වන්දනාමාන කිරීමේ යුතුකම 1994 දී බලයට පත්වූ පො.එ.පෙ. ආණ්‌ඩුවට තිබිණි. එහෙත් බලය ලැබුණ සැනින් ඒ කන්ද අමතක කර දමන ලදී. බලනු මැනවි දේශපාලනයක අසිරියෘ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ස්‌වාමිපුරුෂයා වූ විජය කුමාරතුංග මහතා ඝාතනය කළේ ජ.වි.පෙ යයි කියනු ලැබේ. අන්තිමේදී චන්ද්‍රිකා ජනප්‍රිය වන්නේ සූරියකන්දේ ජ.වි.පෙ. මිනී වළවල් සොයන්නට ගොස්‌ය. මේවා අපූරු කතාය. දැන් නැවතත් සිංහරාජය වෙත හැරෙමු.


වර්ග සැතපුම් විසිපන්දහසක්‌ පමණ වන ශ්‍රී ලංකාව සතු එකම වැසි වනාන්තරය සිංහරාජයයි. එහි ප්‍රමාණය හෙක්‌ටයාර එකොළොස්‌ දහසකි. සිංහරාජය යනු නම කී පමණින් ලී වෙළෙන්දන්ගේ කටට කෙළ උනන කැලයකි. එසේම මේ නම අසන දඩයක්‌කාරයෝ තුවක්‌කුවලට පතරොම් දමා උඩු රැවුල් කරකවති. සිංහරාජයේ ජෛව විවිධත්වය විශාල ය. එහි සුදු වඳුරෝ ද තවත් දුලබ වන ජිවින් රැසක්‌ ද වෙසෙති. එහි ඇති ලක්‍ෂ සංඛ්‍යාත ඖෂධ පැළෑටි වර්ගවල ගුණ අසන ඇමරිකන් බෙහෙත් කොම්පැනිකාරයෝ ක්‌ලාන්ත වෙති. මේ වනය බදු ගත හැකි ඕනෑම රටකට දස අවුරුද්දක්‌ තුළ ලෝකයේ ධනවත්ම රාජ්‍යයක්‌ බවට පත්විය හැකිය. ඒ, එහි ජෛව විවිධත්ත්වය උරා බීමෙනි.


මෙසේ තිබියදී කිසියම් පිරිසක්‌ සූරියකන්දට විනෝද ගමන් යනු පිණිස සිංහරාජය හරහා පාරක්‌ කපන්නේ නම් ආණ්‌ඩුව ඒ ගැන මහත් සේ කල්පනාකාරී විය යුතුය. කැලයක්‌ හරහා පාරක්‌ කපන විට කැලයට අයත් භූමියෙන් අක්‌කර සිය දහස්‌ ගණනක්‌ අහිමි වෙයි. පාරට යටවන භූමියේ ඇති ගහ කොළවලින් වටිනාකමක්‌ නැති ගස්‌ පාර දෙපසට ඇද දමන අතර වටිනා කියන ගස්‌ යළි අපට දැකගන්නට ලැබෙන්නේ මොරටුවේදී ය. ඒ ද ගස්‌ වශයෙන් නොව ගෘහ භාණ්‌ඩ ලෙසය. කැලයක්‌ හරහා පාරක්‌ කැපූ විට මඟ දෙපස ගම්මාන ඇති වෙයි. කැලය තුළට රිංගන හොර පාරවල් ගණන ද වැඩි වෙයි. කැලෙන් දර කැපීමට යන ගැමියාට ගංජා හේනක්‌ වවන්නට සිතෙයි. ඒ ගංජා හේන පැත්තේ දර කඩන්නට යන තවත් ගැමියකුට ගංජා හේන්කාරයාගෙන් වෙඩි කන්නට සිදුවෙයි. මේවා එක වැළට එන ප්‍රශ්නය.


සිංහරාජය දෙකඩ කරන පාරට එරෙහිව නැඟී සිටීම ගැන මේ රටේ පරිසරවේදීන්ට අපි ස්‌තුතිවන්ත විය යුත්තෙමු. එහෙත් මේ කවුරුවත් පාර කැපීමට විරුද්ධව උසාවි නියෝගයක්‌ නො ඉල්ලන්නේ මන්ද? මේ පාර හොර රහසේ මහ පොළව යටින් කපන ලද්දක්‌ නොවේ. කොළඹ නීති ආධාර කොමිසමට ගිය විට මේ විනාශයට විරුද්ධව තහනම් නියෝගයක්‌ ලබාගැනීමට නොමිලයේම උදව් ලබාගත හැකිය. එබන්දක්‌ සිදු නොවන්නේ ඇයි?

http://www.divaina.com/2011/09/12/editor.html

No comments:

Post a Comment