Sunday, August 7, 2011

තහනම් කළ ඖෂධයක්‌ රජයේ රෝහල්වලට යැවීම (2 items)


තහනම් බෙහෙත් ගෙන්නුවාට ලෙඩ

මෙරටට ගෙන්වීම තහනම් කරන ලද එක්තරා ඖෂධයක් ගෙන්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර් මණ්ඩලයකින් අනුමත වීම ගැන එම අමාත්‍යාංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයකින් මේ පරීක්ෂණය පැවැත්වෙයි.

ටෙන්ඩර් මණ්ඩලය නියෝජනය කරන ඖෂධ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු සෙසු සාමාජිකයන් මේ ඖෂධය නිර්දේශ කර නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයද මෙය නුසුදුසු ඖෂධයක් ලෙස නිර්දේශ කර තිබෙන බව ද හෙළි වී ඇත.

මේ අතර මෙරට ගෙන්වන ඖෂධවලින් සියයට 80 ක් ඉන්දියාවෙන් ආනයනය කරන බව කියන සෞඛ්‍ය ඇමැතිවරයා මෙරටට ගෙන්වන සෑම ඖෂධයක්ම තත්ත්ව පාලනයකට යටත් කොට වගකීමක් හා නිසි ප්‍රමිතියක් ඇතිව මෙරටට එවීමට ඉන්දියාවේ සෞඛ්‍ය ඇමැතිවරයාත් එකී අමාත්‍යාංශය හා නිෂ්පාදකයන් ද පොරොන්දු වූ බව ද සඳහන් කරයි.




ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තහනම් කළ ඖෂධයක්‌ රජයේ රෝහල්වලට යවලා


ඒමන්ති මාරඹේ - ප්‍රදීප් සමරකෝන්

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රෝගීන් සඳහා භාවිත කිරීම තහනම් කරන ලද එක්‌තරා බෙහෙත් වර්ගයක්‌ රජයේ රෝහල්වලට නිකුත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ තාක්‍ෂණ ඇගැයීම් කමිටුව විසින් ප්‍රතික්‍ෂේප කර තිබියදීත් එම තීරණය නොතකමින් අදාළ බෙහෙත් වර්ගය පසුගිය සතියේදී රෝහල්වලට නිකුත් කර ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (05 දා) පැවැසීය.

මෙසේ සෞඛ්‍ය අමාත්‍යාංශ තාක්‍ෂණ ඇගැයීම් කමිටුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දී නොතිබියදී අදාළ බෙහෙත් වර්ගය රජයේ රෝහල්වලට නිකුත් කිරීමට ක්‍රියා කළ නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන බව කී ඇමැතිවරයා අමාත්‍යාංශ නිලධාරීන් කරන වැරැදි ක්‍රියාවන්ට තමන්ට දොස්‌ කීමෙන් ඵලක්‌ නොමැති බව ද තමා බෙහෙත් වර්ග පිළිබඳ විශේෂඥයකු නොවන බව ද කියා සිටියේය.

බෙහෙත් වර්ග මෙරටට ගෙන්වීමේදී ඒ පිළිබඳ විශේෂඥයන් දෙපැත්තකට බෙදී වාද කිරීම නිසා අර්බුදකාරී තත්ත්වයක්‌ මතුව ඇතැයි ද සෞඛ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.

මෙරටට තත්ත්වයෙන් බාල බෙහෙත් වර්ග සපයනු ලබන ඉන්දීය බෙහෙත් සමාගම්වලට එරෙහිව ඉන්දීය රජය ක්‍රියා කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඉන්දියාවේ පැවැති සෞඛ්‍ය සමුළුවකදී පසුගියදා ප්‍රකාශ කළ බව ද හෙතෙම සඳහන් කළේය.

වෛද්‍ය පර්යේෂණ ආයතන දිනය නිමිත්තෙන් ඊයේ (05 දා) බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයක්‌ අමතමින් ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.




http://www.divaina.com/2011/08/06/news01.html

No comments:

Post a Comment