Friday, August 12, 2011

Imported cement & their quality issue (2 news items)

ප්‍රමිතියට නැති සිමෙන්ති රටපුරා අලෙවියට යවලා

ජනිත සෙනෙවිරත්න

වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික සමුපකාර මණ්‌ඩලය විසින් පකිස්‌ථානයෙන් ශ්‍රී ලංකාවට ගෙනආ බව කියන එස්‌.එල්.එස්‌. ප්‍රමිතියට අනුකූල නොවන සිමෙන්ති තොග ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්‌ථාව හා සමුපකාර මගින් රටපුරා අලෙවි කිරීමෙන් බරපතල ගැටලුකාරී තත්ත්වයන් ඇතිවී තිබේ.

මෙරට නීතිය අනුව එස්‌.එල්.එස්‌. ප්‍රමිතිය නොමැති සිමෙන්ති අලෙවිය තහනම් ය. එහෙත් මේවන විට නීති නොතකමින් සිමෙන්ති වෙළෙඳපොළට නිකුත්කර තිබේ.

එම සිමෙන්ති කොට්‌ට සඳහා එස්‌.එල්.එස්‌. සහතිකය නැතත් ඒවායේ මුද්‍රණය කර ඇත්තේ එස්‌.එල්.එස්‌. ප්‍රමිති සහතිකය ඇති බවය.

එවැනි දේ අල්ලා ගැනීම සඳහා වැටලීම් කරන පාරිභෝගික අධිකාරියද වෙළෙඳ අමාත්‍යාංශය යටතේම ඇති අයතනය බැවින් සිමෙන්ති ප්‍රශ්නය තවත් බැරෑරුම් වී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමිති ආයතනය පවසන්නේ මේ සිමෙන්ති සම්පීඩ්‍යතා තත්ත්වයන්ට අනුකූල නොවන බැවින් භාවිතයට සුදුසු නොවන බවයි.

කෙසේ වෙතත් රටපුරා සිමෙන්ති හිඟයක්‌ පවතින අතර මේ නිසා එදිනෙදා ඉදිකිරීම් සේවාවල යෙදෙන ලක්‍ෂ ගණනකට රැකියා අහිමිවී තිබේ.



http://www.divaina.com/2011/08/12/news04.html


සමුපකාර සිමෙන්ති වෙළෙඳපොළට දැමීමට රේගුව කිසිදු අවසරයක්‌ දී නෑ

ජනිත සෙනෙවිරත්න

ජාතික සමුපකාර මණ්‌ඩලය විසින් ගෙනආ සිමෙන්ති තොගය වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රේගුව කිසිදු අවසරයක්‌ මෙතෙක්‌ දී නැතැයි ශ්‍රී ලංකා රේගුවේ භාණ්‌ඩ සමීක්‍ෂණ අධ්‍යක්‍ෂ එස්‌. ඩී. එස්‌. ගුණතුංග මහතා දිවයිනට පැවැසීය.

එසේ අවසර නැතිව එම කන්ටේනර් විවෘතකර භාණ්‌ඩ වෙළෙඳපොළට ඉදිරිපත්කර තිබේ නම් එය වරදක්‌ බවත් එසේනම් රේගු ආඥපනත අනුව පියවර ගන්නා බවත් අධ්‍යක්‍ෂවරයකු පැවැසීය.

"එස්‌.එල්.එස්‌. සහතිකය නැතිව ශ්‍රී ලංකාවේ සිමෙන්ති අලෙවිය නීතිවිරෝධියි. ඔය කියන තොගය කන්ටේනර් 25 ක්‌ රාජ්‍ය ආයතනයක්‌ මගින් ගෙනආ නිසා සහතිකයක්‌ ලෙස අප එයින් කන්ටේනර් 3 ක්‌ රඳවාගෙන 22 ක්‌ ඔවුන්ගේ ගුදම් වලට මුදාහැරියා. ඒවා විවෘත කරන විට රේගුව හා ප්‍රමිති කාර්යාංශය එහි සිටිය යුතුයි. ඒත් මේ වනතුරු කිසිදු රේගු නිලධාරියෙක්‌ එහි ගොස්‌ නැහැ.

මේවා වෙළෙඳපොළට නිකුත් කළ බවට යන ආරංචි නිසා මේ වන විට ඒවා පරීක්‍ෂා කරන්නට රේගු නිලධාරී කණ්‌ඩායමක්‌ වහාම යවා තිබෙනවා. රටේ නීතිය අනුව මේවා නිදහස්‌ කරන්න ප්‍රමිති සහතිකය ඕනෑ. නැත්නම් ඒවා ආපසු ගෙන ආ රටටම යෑවීම හෝ මෙරටදී විනාශ කිරීම සිදුකළ යුතු යෑයිද අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවැසීය.



http://www.divaina.com/2011/08/12/news05.html

No comments:

Post a Comment