Tuesday, September 13, 2011

දිය පිපාසයෙන් පීඩිත වල් අලි ගම් වදිති

තිරිප්පනේ ගම්මුන්ගෙන් මැසිවිලි

තලාවට නුදුරුව ඇති තිරප්පනේ ප්‍රදේශය කැලෑබද ගම්මානයකි. ගම්මානයේ තැනින් තැන එළි පෙහෙළි කරගෙන ගෙවල් දොරවල් හදාගෙන පාරම්පරික මේ වනගත පරිසරයේ පවුල් පනහක් හැටක් කල දවස ගෙවති. ඔවුන් ගේ දිවි පෙවෙත ගෙවෙන්නේ ගමේ වැව වූ තිරප්පනේ වැව හරහා ය. තිරප්පනේ ගම පෙරදා සිට පැවත එන වැව් ගම්මානයකි. මේ වැව් ගම්මානයට යාබද කැලෑ කුට්ටිවල වල්අලි රංචු පිටින් වෙසෙති. ඔව්හු කැලෑවේද, ගම්මු ගෙවල්වල ද ජීවත් වූහ. ගම්මුද අලි ඇතුන්ද ගමේ වැවෙන් ප්‍රයෝජන ගත්හ.


පතුලටම සිඳී ගිය තිරප්පනේ වැව

හැමදාමත් ගොම්මන් වෙලාවට අලිමංතලා දිගේ එළිබහින අලි රංචු වැවට බැස පිපාසය සංසිඳුවා ගෙන පැය දෙකතුනේ දිය කෙළියේ රැඳී සිට නැවත වැවෙන් ගොඩවී අලි බඩවල් පුරවා ගන්නට කැලේට වදිති. මේ අලින් ගේ යාමය නිසා මේ වෙලාවට කිසිවෙකු වැවට එන්නේ නැත. මේ දිනවල රජරටට පවත්නා දැඩි නියගය නිසා බොහෝ ඇල - දොළ - වැව් – අමුණු සිඳී ගොස් ඇත. තරප්පනේ වැවද පතුලටම සිඳී ගොස් තිබේ. ගහ කොළ වේලීම නිසා අලි ඇතුන්ට කෑම හිඟ විය.

වැව් අමුණු වේලීයාම නිසා බීමද හිඟ විය. දැන් අලි ඇත්තු වියරු වී සිටිති. පසුගියදා පුරුදු පරිදි අලි රංචුව ගොම්මං වෙලාවට අලි මං තලාවලින් එළියට බැස තිරප්පනේ වැවට පාත් වූයේ පිපාසය සංසිඳුවා ගන්නට ය. ඒත් වැවේ දිය පොදක්වත් නැත. එයින් වියරු වැටුණ අලි රංචුව වැව පාමුල පිහිටි පියසේන ගේ පීදෙන වයසේ තිබූ අක්කරයක් තරම්වූ කෙසෙල් කොටුවට කඩා වැදුණි. පිපාසයෙන් පීඩිතව සිටි අලි රංචුව කෙසෙල් පඳුරුවලට හොඬවැල් තියා ගත්හ. එකිනෙක ගස් උදුරා හක්කට ගෙන උරාබී හපකර දමා පිපාසය සංසිඳවා ගෙන හිමිදිරි පාන්දර ආපසු හැරුණි.


සටහන හා ඡායාරූපය - එප්පාවල සමූහ

http://www.dinamina.lk/2011/09/13/_art.asp?fn=r1109134

No comments:

Post a Comment