Monday, September 12, 2011

ශ්‍රී ලංකාවේ කිරි නිපැයුම නැංවීමට විශේෂ වැඩසටහනක්

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත.

මේ යටතේ ඕස්ට්‍රේලියාවෙන් කිරි එළදෙනුන් 4500 ක් ආනයනය කිරීම, පශු සම්පත් මණ්ඩලයට අයත් බෝපත්තලාව, නිකවැරටිය හා සිරිනාගපාත සත්ත්ව ගොවිපොළ වැඩිදියුණු කිරීම සිදු කෙරෙන බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසයි.

අදියර දෙකකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ පළමුවැන්න ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 10.5 ක් (රුපියල් මිලියන 1155) ණය මුදලක් ලබාදීමට නෙදර්ලන්තයේ රේබෝ බැංකුව හා ඕස්ට්‍රේලියාවේ අපනයන මූල්‍ය රක්ෂණ සංස්ථාව එකඟතාව පළ කර ඇති බවත් ඊට අදාළ ගිවිසුමට අත්සන් කළ බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, ඕස්ට්‍රේලියාවේ අපනයන මූල්‍ය රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන ණය නිලධාරී ජෝන් විලියම් පැසෙයි හා නෙදර්ලන්තයේ රේබෝ බැංකුවේ ව්‍යුහගත වෙළෙඳ හා අපනයන මූල්‍ය උප සභාපති හෑන් බාර්ට්ල්ඩ්ස් මහත්වරු ඒ සඳහා අත්සන් කෙරිණි.

මෙහි පළමු අදියර යටතේ ඕස්ට්‍රේලියාවෙන් කිරි එළදෙනුන් 2000 ක් ආනයනය කිරීම හා බෝපත්තලාව සත්ත්ව ගොවිපොළ සංවර්ධනය කිරීම සිදු කෙරෙන අතර නිකවැරටිය හා සිරිනාගපොත සත්ත්ව ගොවිපොළ සංවර්ධනය කිරීමත් කිරි එළදෙනුන් 2500 ක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමත් දෙවැනි අදියර යටතේ සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කැතී ක්ලුග්මන් මහත්මියද මේ අවස්ථාවට එක්වූවාය.


http://www.dinamina.lk/2011/09/12/_art.asp?fn=n11091220

No comments:

Post a Comment