Wednesday, August 10, 2011

සැමටම විදුලිය දෙන්න ට්‍රාන්ස්ෆෝමර් 4000ක්


රටේ සෑම නිවෙසකටම විදුලිය ලබාදීම සඳහා රට පුරා ට්‍රාන්ස්ෆෝමර්ස් හාරදහස් පන්සීයක් ස්ථාපිත කිරීමටත්, ලබන වසර තුළ විදුලි බල පද්ධතියට සුනිත්‍ය බලශක්තිය මඟින් මෙගාවොට් දෙසීයක් එක් කිරීමටත් විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. ඒ සඳහා සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ සහාය ද ලබා ගන්නා බව විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පක රණවක මහතා පවසයි. දැනටමත් මෙගාවොට් තිහක සුළං විදුලි බලාගාරයක් ඉදිකර තිබෙන අතර කුඩා ජල විදුලි බලාගාර අසූතුනක් ඉදිකිරීමට ද අනුමැතිය දී ඇත.

ඉරානයේ ට්‍රාන්ස් පෝර්මර්ස් දහසක් ද ලැබී තිබේ. මේ අතර මෙරට ප්‍රථම සූර්ය ශක්ති විදුලි බලාගාරය ද ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට තීරණය වී ඇත. මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළ දක්වා ඇති පරිදි බල ශක්ති කේන්ද්‍රයක් ගොඩනැඟීමේ දී පුනර් ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බවද ඇමැති පාඨලී චම්පක රණවක මහතා පැවැසීය. විදුලිබල අමාත්‍යාංශයේ ඊයේ (9) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමැතිවරයා මේ තොරතුරු හෙළි කළේය.

වතුකරය, හේන් දූපත් ආදී ස්ථාන සඳහා සූර්ය බල ශක්තියෙන් විදුලිය ලබා දීමට මේ යටතේ තීරණය කර ඇත. ඒ සඳහා “විදුල්කා” වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති බව ඇමැතිවරයා සඳහන් කළේ ය. තවද “විදුල්කා 2011” ජාතික බලශක්ති සතිය මේ මස 11 සිට 14 දක්වා ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම වැඩසටහන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට තීරණය කර තිබේ. මේ අවස්ථාවට සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති කිත්සිරි දිසානායක මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.



No comments:

Post a Comment