Monday, August 1, 2011

ආදිවාසීන් රැකගැනීමේ වගකීම රජය සතුයි

ලෝක ආදිවාසී දින උළෙලේ දී ජනපති කියයි

ආදිවාසී ජනතාව විනාශ වී යන තත්ත්වයට පත්කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකර ඔවුන්ගේ සංස්කෘතිය ආරක්‍ෂා කරමින් අයිතිවාසිකම් ලබාදීමේ වගකීම රජයට ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය. ජනාධිපතිතුමා මෙසේ සඳහන් කෙළේ “ලෝක ආදිවාසී දිනය” නිමිත්තෙන් වාකරේ සල්ලතිව් වෙරළේ ඊයේ (31) පැවති සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජයට පත්කිරීම ආදිවාසී ජනතාවගේ ජාතියේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා තීරණාත්මක සාධකයක් වූ බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ආදිවාසී ජනතාව තවදුරටත් ජීවත් වනවාද නැද්ද යන්න එදා තීරණය කළේ එල්. ටී . ටී. ඊ. සංවිධානය බවත් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කිරීමත් සමඟ ඒ තත්ත්වය වෙනස් කිරීමට රජයට හැකි වී තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ජනාධිපති කාර්යාලය, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය සහ වාකරේ 233 බළ සේනා මූලස්ථානය එක්ව මේ සැමරුම් උළෙල සංවිධානය කෙරිණි.
වනජීවී දෙපාර්තමේන්තුව සහ ආදිවාසීන් අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම මෙහිදී සිදුවූ අතර වන ජීවී අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහතා සහ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඒ සඳහා අස්සන් තැබූහ.
ආදිවාසීන්ගේ වරිග සභාවේ වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණු අතර ඊට අමතරව වැදි ජනතාව පිළිබඳ සමාජ ආර්ථික සමීක්‍ෂණ වාර්තාව ද ඒ මහතාට පිළිගැන්වීය.

මේ අතර ආදිවාසී ජනතාව වෙත රැකියා ලබාදීමට අදාළව සංකේතාත්මක වශයෙන් ඒ සඳහා ලිපි ප්‍රදානය කිරීමද උප්පැන්න සහතික ප්‍රදානය කිරීම ද වගා කටයුතු සඳහා කෙසෙල් පැළ බෙදා දීමද ජනාධිපතිවරයා අතින් සිදුවිණි.

මේ රටේ පැවැති බෙදුම්වාදී ත්‍රස්තවාදය අනෙකුත් ජාතීන්ට මෙන්ම ආදිවාසී ජනතාවට ද දරුණු ලෙස බලපෑ බව සිහිපත් කළ මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීම පමණක් නොව කැමැති පරිදි ජීවත් වීමේ වරප්‍රසාදය ලබා දී තිබෙන බවද සඳහන් කෙළේය. ජනතාවගේ උරුමය සහ සංස්කෘතිය ආරක්‍ෂා කර ගනිමින් මහින්ද චින්තනය හරහා ගම දියුණු කරන බව පැවසූ ජනාධිපතිවරයා එම සියලු පහසුකම් ආදීවාසී ජනතාවගේ ප්‍රදේශවලටද ලබාදීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

ඇමැතිවරුන් වන ටී. බී. ඒකනායක, ආචාර්ය ජගත් බාලසූරිය, එස්. එම්. චන්ද්‍රසේන, සාලින්ද දිසානායක, විනයාගමුර්ති මුරලිදරන්, නියෝජ්‍ය ඇමැතිවරුන් වන එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන, එම්. එල්. එම්. හිස්බුල්ලා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම, නැගෙනහිර මහ ඇමැති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

No comments:

Post a Comment