වල් අලි ගම්වැදීම වැළැක්වීමට ජල පහසුකම් සැපැයීමට පියවර
![]() අදාල ව්‍යාපෘතිය පිළිබඳව ඇමැති මහින්ද අමරවීර. කුරුණෑගල දිසාලේකම් කුසුම් හෙට්ටිගේ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සාකච්ඡා කළ අයුරු. |
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අලින් සඳහා ජල පහසුකම් ලබා දීම අරමුණ ඇතිව ජලාශයක් ඉදි කිරීම ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා ආරම්භ කරන ලදී.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොතුවිල ග්‍රාම නිලධාරි වසමේ තොළඹු ඇළ හරස් කර ස්වභාවික කඳු වැටි දෙකක් අතර මෙම ජලාශය ඉදිකරනු ලබයි.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අවශ්‍යතාවය ලෙස පොල්පිතිගම වනජීවි කලාපයේ සිටින වන අලින්ට අවශ්‍ය ජල පහසුකම් සැපයීම මගින් විදුලි වැට කඩා ජල අවශ්‍යතාවය සඳහා වල් අලින් ගම් වැදීම පාලනය කිරීමයි.
මෙම ව්‍යාපෘතියේ අරමුණු රැසක් ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ඒ. ඒ. කුසුම් හෙට්ටිගේ මහත්මිය වන අලි තර්ජන ඇති ගම්මානවල ප්‍රජාව එම අවදානමෙන් මුදවා ගැනීම, වන අලින් ගම්මාන වලට කඩා වැඳීම අවම කිරීම, වන අලින් ඇතුළු අනිකුත් සතුන්ට ප්‍රමාණවත් ජල පහසුකම් සැපයීම, විදුලි වැට ආරක්ෂා කිරීම, මිනිස් ක්‍රියාකාරකම් නිසා වන අලින්ට සිදුවන හානි අවම කිරීම ආදිය ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණු බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක් වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරි සිසිර වන්නිනායක මහතා මෙම ජලාශය ඉදිකිරීම තුළින් සෘජුවම ප්‍රතිලාභ ලැබෙන පවුල් සංඛ්‍යාව 1200 ක් පමණ වේ. මෙයට අමතරව වන අලින් ගම් වැදීම අවම වන අතර , එය පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටම මහත් ප්‍රතිලාභයකි.
මෙම ජලාශය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 30 ක මුදලක් යොදවන අතර ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මග පෙන්වීම යටතේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙනු ලබයි.
මෙයට අමතරව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් මරිනා මොහොමඩ් මහත්මිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජනරාල් ගාමිණි හෙට්ටිආරච්චි මහතාගේ සම්බන්ධිකරණය ද මෙහිදී සිදු වන අතර කුරුණෑගල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලය මෙම ජලාශය ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් අදහස් දැක් වූ සිසිර වන්නිනායක මහතා පැවසීය.
No comments:
Post a Comment