Thursday, September 15, 2011

දේශීය ඩීසල් ලීටරයක් රු.60ට ලංගමයට

නිමල් රාජපක්ෂ

දේශීයව නිෂ්පාදිත ‘මිරකල්’ නමැති නව ඩීසල් වර්ගයක් නිපදවා ලීටරයක් රුපියල් 60 ක් වැනි අඩු මුදලකට ශ්‍රී ලංගම බස් රථ ධාවනය සඳහා ලබාදීමට ඊයේ (14) ගිවිසුමකට එළඹිණි.

මේ සඳහා වූ ගිවිසුමට අස්සන් කිරීම මිරකල් ලංකා පුද්ගලික සමාගම හා ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහන කුමාර දිසානායක මහතා අතර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදුකෙරිණි. මෙහිදී අදහස් දැක්වු නියෝජ්‍ය ඇමැති රෝහන කුමාර දිසානායක මහතා ඩීසල් සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට රුපියල් ලක්ෂ දෙසිය දහයක මුදලක් දිනකට වැය වෙනවා.

ශ්‍රී ලාංකීය සමාගමක් මිරකල් නමින් දේශීය ඩීසල් වර්ගයක් නිෂ්පාදනය කොට සියයට විස්සක් අඩුවෙන් ලබාදීමට සමත්වී තිබෙනවා. ජලය, ඩීසල් සහ වෙනත් රසායන ද්‍රව්‍ය එකතුකොට නිෂ්පාදිත මිරකල් ඩීසල් ලංගමට හා දුම්රිය ධාවනය සඳහා ලබාදීමට කැමැත්ත පළකොට තිබෙනවා. එවැනි ආයතනයක් අඩු මිලට ඉන්ධන ලබාදීමට ඉදිරිපත් වීම අප අගය කළ යුතුයි.

මිරකල් ලංකා පුද්ගලික සමාගම ලබාදෙන ඉන්ධන ලංගම ඩිපෝ කිහිපයක තිබෙන බස් රථ සඳහා යොදාගෙන නියමු ව්‍යාපෘතියක් ලෙස භාවිතා කරනවා. එසේ බස් ධාවනය කිරීමේදී බස් රථවල එංජින්වලට කිසිදු හානියක් නොවන බව අදාළ සමාගම වසර ගණනාවක් කළ පරීක්ෂණවලින් හෙළිවී ඇතැයිද පවසනවා.

ලංගම ඉංජිනේරුවන්ගේ පරීක්ෂාවට ලක්කොට එංජින්වලට හානියක් නොවන්නේ නම් එම සමාගම සතු ඉන්ධන භාවිතයට එක්කරනු ඇතැයි පැවැසීය.

මිරකල් ලංකා පුද්ගලික සමාගමේ සභාපති ආචාර්ය නාලක ගජදීර මහතා අදහස් දක්වමින්,

මිරකල් විකල්ප ඩීසල් වසර ගණනාවක් පරීක්ෂණය කොට ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා.

මාලදිවයින, වියට්නාමය, රුමේනියාව, කුවේට් වැනි රටවලින් ඇණවුම් ලැබී තිබෙන යුගයක රජයේ පොදු ප්‍රවාහන සේවය සඳහා සියයට විස්සක් අඩු මිලට ලබාදීමට තීරණය කොට තිබෙනවා. ජලය හා ඉන්ධන මිශ්‍රකර නිපදවන මිරකල් ඩීසල් භාවිතයෙන් පරිසරයට කිසිදු හානියක් නොවන බවද පැවසීය.

දිනකට මිරකල් ටොන් හයදාහක් කඩුවෙල නිෂ්පාදනාගාරයේ නිපදවන අතර ඉන්ධන භාවිතයෙන් වායුගෝලයට කිසිදු හානියක් සිදුනොවන බවද හේ පැවැසීය.

රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාසිරි තිසේරා මහතා ඇතුළු නිලධාරින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


http://www.dinamina.lk/2011/09/15/_art.asp?fn=n1109153

No comments:

Post a Comment