Thursday, September 1, 2011

පෞද්ගලික ඔසුසල් වසරක්‌ පාසා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය අනිවාර්යයයි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

ශ්‍රී ලංකාවේ දැනට පෞද්ගලික ඔසුසල් තුන්දහසක්‌ පමණ තිබෙන බවත්, ඒවා වාර්ෂිකව ජාතික විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම වර්ෂයේදී ඇතැම් පෞද්ගලික ඔසුසල් මේ වනතෙක්‌ ලියාපදිංචි කිරීමට පියවර ගෙන නැති බවත්, ඇතැම් ඔසුසල් වසර ගණනාවකින් ලියාපදිංචි කර නැති බව හෙළිවිණැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

මෙවැනි නීත්‍යනුකූල නොවන අයුරින් ලියාපදිංචි නොකර පවත්වා ගෙන යන පෞද්ගලික ඔසුසල් වටලා වහාම පරීක්‍ෂාවට ලක්‌ කරන ලෙසත්, එවැනි ලියාපදිංචි නොකර පවත්වා ගෙන යන ඔසුසල්වලට එරෙහිව නඩු පැවරීමට පියර ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියට උපදෙස්‌ දෙනු ලැබීය.

ඒ අනුව පසුගිය 27 වැනිදා එම අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් මෙම වැටලීම් ආරම්භ කළේය.

එහිදී කොළඹ මරදාන හා පංචිකාවත්ත යන ප්‍රදේශවල පිහිටි පෞද්ගලික ඔසුසල් 10 ක්‌ පරීක්‍ෂාවට ලක්‌ කළ අතර, ඉන් ඔසුසල් 04 ක්‌ ලියාපදිංචි නොකර පවත්වාගෙන යන බවට තොරතුරු තහවුරු විය. ඒ අනුව එම ඔසුසල්වලට එරෙහිව නඩු පැවරීමට අදාළ නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

මේ අතර මෙම වැටලීම්වලට සමගාමීව විධිමත් පුහුණුවක්‌ සහිත ඖෂධවේදියකුගේ සේවය ලබා නොගැනීම. වෛද්‍ය නිර්දේශ නොමැතිව ඖෂධ නිකුත් කිරීම, එක්‌ එක්‌ ඖෂධ ගබඩා කළ යුතු නියමිත උෂ්ණත්වයේ ඖෂධ ගබඩා නොකිරීම, ඖෂධ හා ආහාර ද්‍රව්‍ය එකම ශීතකරණයේ ගබඩා කිරීම, මෙරට භාවිතයෙන් ඉවත් කළ ඖෂධ තබා ගැනීම, බාල ඖෂධ අලෙවි කිරීම, හා වෛද්‍යවරුන් නිර්දේශිත ඖෂධය වෙනුවට වෙනත් මිල අධික විකල්ප ඖෂධ රෝගීන්ට අලෙවි කිරිම වැනි කාරණාවන්ට අදාළව ද පරීක්‍ෂණ සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සරිසේන මහතා විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියට උපදෙස්‌ දී තිබේ.

මෙම වැටලීම් ප්‍රාදේශීය වශයෙන් ඖෂධ හා ආහාර පරීක්‍ෂකවරුන් මගින් සිදු කෙරෙන අතර ඒවා නියාමනය කිරීමේ පූර්ණ බලතල පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරුන් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්ට තිබේ.

මෙම වැටලීම් සිදුකිරීමේදී මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සඳහා ප්‍රමුඛත්වය ලබා දීමටත්, වැටලීම් කටයුතුවලදී උපාය දූතයන් යෙදවීමටත් අධිකාරිය පියවර ගෙන ඇත.


http://www.divaina.com/2011/09/01/news35.html

No comments:

Post a Comment