නීතිය ප්‍රායෝගික නෑ: දඹුල්ල පාළු වෙයි
ජනිත සෙනෙවිරත්න - සරත් එරමිණිගම්මන
එළවළු හා පලතුරු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය අනිවාර්යය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය ගත් තීරණයට විරෝධය පළ කරමින් ගොවීහු ඊයේ (01 දා) වර්ජනයක් දියත් කළහ. මේ හේතුවෙන් ඊයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පාළුවට ගොස් තිබිණි. එළවළු, පලතුරු ප්‍රවාහනයේදී සියයට තිහක් පමණ අපතේ යන බව පවසමින් ඊයේ (01 දා) සිට නව නීතිය පැනවුණු අතර ඒ හේතුවෙන් දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ගණනාවකට එළවළු සැපයීම ගොවීන් විසින් නවතා දමන ලදී.
ප්ලාස්ටික් ඇසුරුම් ප්‍රවාහනයේදී ඇති දුෂ්කරතා, ඒ සඳහා වැඩි ඉඩක් අවශ්‍ය වීම, පතෝල, වැටකොලු ආදියට සුදුසු ප්ලාස්ටික් භාජන නොමැතිවීම, ගෙන ආ ප්ලාස්ටික් භාජන නැවත ගෙන යැමට වාහන අවශ්‍ය වීම ආදී කරුණු නිසා මූලික වශයෙන් මේ ක්‍රියාවලිය අසාර්ථක වී තිබේ. ඇතැම් ගොවීහු මේ ක්‍රමය ප්ලාස්ටික් කූඩ විකුණා ගැනීමේ ක්‍රියාවලියක් ලෙසටද හඳුන්වති.
මෙවැනි ක්‍රමයක් හඳුන්වාදීමේදී කිසිදු ගොවියකුගෙන් කරුණු විමසීමක් නොකළ බවද එක්වරම මෙවැනි ක්‍රමයක් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බව ද ගොවීහු බොහෝ දෙනෙක් "දිවයින" ට පැවසූහ.
මේ තත්ත්වය නිසා එළවළු වෙළෙඳුන්ද පාරිභෝගික ජනතාව ද දුෂ්කරතාවන්ට මුහුණදී සිටිති.
මේ අතර එළවළු සහ පලතුරු ඇසිරීමේදී හා ප්‍රවාහනයේදී ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය ඊයේ (1 දා) සිට අනිවාර්ය කිරීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ඒම සියයට 50 කින් අඩාල වූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ සංඛ්‍යාන නිලධාරී ඡේ. කේ. බී. ලයනල් මහතා පැවසීය.
දඹුල්ල වෙළෙඳපළ සිට පිට පළාත්වලින් එළවළු රැගෙන ඒම බොහෝදුරට අඩාල වී තිබූ අතර පෙර දිනයන්හි දිනකට ලොරි රථ 800 ක් පමණ පැමිණියත් ඊයේ දිනයේ ලොරි රථ 300 - 350 ක් පැමිණි බවත් එළවළු මිලදී ගැනීමට පිට පළාත්වලින් වෙළෙන්දන් නොපැමිණීම හේතුවෙන් දහවල් වනවිට එළවළු සඳහා තිබූ ඉල්ලුම පහත වැටීමෙන් එළවළු වර්ග රැසක ද මිල පහත වැටී තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ගොවීහු මෙසේ පැවසූහ.
රන් බඩු උකස් තියලා වගා කරන අපට මේ ඇසුරුම් ගන්න මුදල් නෑ
පී. ජී. එම්. සී. බණ්ඩාර මහතා - බකමූණ
"ආණ්ඩුව ලොකු වැඩ කරන්න ගිහිල්ලා ඇනගන්න වැඩ තමයි කරන්නේ. මේ ප්ලාස්ටික් ඇසුරුම් වැඩේ කුඩා ගොවියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගොඩ ගොවිතැන් සඳහා විශාල නිෂ්පාදන පිරිවැයක් ගොවීන්ට දරන්න සිදුවෙලා. තියෙන තත්ත්වය තුළ ගොවිතැන් කරන්නේ රන් භාණ්ඩ උකස් කරලා. එහෙම නැතිනම් බැංකු ණය අරගෙන. එහෙම වගා කරලා ගේන එළවළු ඇසුරුම් සඳහා ලොකු ප්ලාස්ටික් ඇසුරුමක් රුපියල් 1700 ක් විතර ගේනවා. ඒවා මිලදී ගන්න ගොවියාට වත්කමක් නැහැ. දැනට භාවිත කරන්න දැල් මලු ගන්නත් ගොවීන්ට රුපියල් 25 ක් නැතිව යනවා."
සරත් පද්මසිරි මහතා - දුටුවැව, ගලෙන්බිඳුණුqවැව -
"ලොකු ප්ලාස්ටික් කූඩවල වට්ටක්කා, ගෝවා වගේ එළවළු වර්ග කොහොමද අසුරා ප්‍රවාහනය කරන්නේ. එකවරකට වට්ටක්කා කිලෝ ග්‍රෑම් 2000 - 3000 අස්වනු නෙළනවා. එක කූඩයක වට්ටක්කා ගෙඩි දමන්න පුළුවන් 4- 5 ක් විතර. එතකොට කූඩා කීයක් අවශ්‍යද? ඒවා අපිට මිලදී ගන්න පුළුවන්ද?
ඊළඟට ඒවා ප්‍රවාහනය කරන්න 3-4 වතාවකට ලොරි කුලී දෙන්න වෙනවා. ලොරියකට ගලෙන් බිඳුණුවැව ඉඳලා දඹුල්ලට එළවළු ගේන්න රුපියල් 8000 ක් දෙන්න ඕන. වට්ටක්කා කිලෝවක මිල වෙන්නෙත් රුපියල් 15 - 20 ක්. ඉතින් මේ වගේ වියදමක් දරලා තුට්ටු දෙකට එළවළු දීලා අපි ප්ලාස්ටික් ඇසුරුම්වලට දහස් ගණන් වියදම් කරන්නේ කොහොමද? මේවා ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩ නොවෙයි. එහෙම වුණොත් ගොවිතැන අත්හැරලා වහ ටිකක් බොන්න තමා වෙන්නේ."
පතෝල, වැටකොළු, වට්ටක්කා, මේවායේ දමන්නේ කොහොමද?
- නිමල් රණසිංහ මහතා - ලග්ගල කිරිඔය
"අපි අද දඹුල්ල එළවළු ගෙනාවෙ නැහැ. ප්ලාස්ටික් ඇසුරුම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල බලන්නයි ආවේ. අද අපේ එළවළු කොටුවල අස්වනු නෙළන දවස. ප්ලාස්ටික් ඇසුරුම් මිලදී ගන්න අපිට හැකියාවක් නැහැ. මම හදලා තියෙන්නේ පතෝල හා වැටකොළු. ඒවා ප්ලාස්ටික් අසුරුම්වල දමන්න බැහැ. ඒවා දිගයි. මේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී මේවා ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න ඕන. අනෙක අපේ හේන් තියෙන්නේ ප්‍රධාන මාර්ගවලින් බැහැරව. ලොරියක් ගන්න පුළුවන් පාරවල් නැහැ. එතකොට ප්ලාස්ටික් ඇසුරුම්වල දාලා කරේ තමා අදින්න වෙන්නේ. ඒවාට වෙනම කුලී දෙන්න ඕන. ඊළඟට දඹුල්ලට ගෙනැල්ලා ආපසු අරගෙන යන්නත් ලොරියක් ඕන. ඒවාට වියදම් දෙන්නේ කව්ද? මේවා කරන්න පුළුවන් ගොවියාට පොදු ප්‍රවාහන සේවාවක් සහන මිලට දීලා. ප්ලාස්ටික් ඇසුරුම් වුණත් අපිට නොමිලේ දෙන්න ඕනෑ. ඔය දහස් ගණන් දීලා අපිට මිලදී ගන්න බැහැ."
නිහාල් රාජරත්න මහතා - මාතලේ -
"ප්ලාස්ටික් ඇසුරුම් අනිවාර්යය කිරීම නිසා එළවළු ගොවියාට විතරක් නොවෙයි ව්‍යාපාරිකයන් වන අපිටත් හරිම ගැටලුවක්. දඹුල්ලෙන් අපි එළවළු මිලදී අරගෙන ඇසුරුම්වල අසුරා රැගෙන යැමේදී දෙපාරක් තුන්පාරක්වත් යන්න වෙනවා. ප්ලාස්ටික් ඇසුරුම්වල දමන්න පුළුවන් එළවළු ප්‍රමාණය අඩුයි. ප්‍රවාහනය සඳහා විශාල වියදමක් දරන්න වෙනවා. අනෙක ත්‍රිරෝද රථවල ප්ලාස්ටික් කූඩ දමන්න බැහැ. මගී බස්රථවලින් දඹුල්ලට එළවළු ගේන ගොවීන් ඉන්නවා. ඔවුන්ටත් ගැටලු ඇති කරනවා. අපිට මේ නීතිය ක්‍රියාත්මක කළොත් මේ රස්සාවෙන් අයින් වෙන්න තමා වෙන්නේ".
http://www.divaina.com/2011/09/02/news01.html
No comments:
Post a Comment