අජිත් අලහකෝන්
බදු අභියාචනා කොමිසම නියමිත මාස හය තුළ අක්‍රීයව පැවතීම නිසා ජාතික ආදායමට ලැබෙන්නට තිබූ රුපියල් කෝටි අටසියයක මුදලක් අහිමි වීමේ අවදානමක් උද්ගතව ඇත. බදු අභියාචනා කොමිසමේ මාස හයක නිල කාලය පෙරේදා (30 වැනිදා) අවසන් වූ අතර මෙම කාලය තුළදී කොමිසම විසින් එක් බදු අභියාචනයක් හෝ සලකා බලා නැතැයි ඉතා විශ්වාසදායක ආරංචිමාර්ග ඔස්සේ "දිවයින ඉරිදා සංග්‍රහය"ට වාර්තා විය. මෙම කොමිසම පසුගිය අප්‍රේල් 01 දා සිට සැප්තැම්බර් 30 දා දක්වා මාස හයක කාලයක් බලපැවැත්වෙන පරිදි ස්ථාපිත කළ අතර ඒ සඳහා මහල් පහක ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂ 50 බැගින්වූ මාසික කුලියකට ලබාගෙන ඇත. ඒ අනුව මාස හයක කාලය සඳහා කුලිය රුපියල් කෝටි තුනක් වන අතර කොමිසමේ සාමාජිකයන් තිදෙනාට අමතරව සම්පූර්ණ සේවක සංඛ්‍යාව හත් දෙනෙකි.
දස දෙනෙකු පමණ සේවය කරන බදු අභියාචනා කොමිසන් සභාවේ මෙම කාර්යාල සංකීර්ණයේ මහල් තුනක් නිකරුනේ වසා දමා තිබූ බවද කාර්යාලයේ විදුලිය, ජලය, වැටුප්, ඇතුළු පුනරාවර්තන වියදම් සඳහා පමණක් මසකට රුපියල් ලක්ෂ විස්සක් පමණ වැයවන බවද ඉහත ආරංචිමාර්ග සඳහන් කළේය.
ඊට අමතරව රුපියල් ලක්ෂ ගණනක් වියදම් කර කාර්යාලයට පරිගණක, ගෘහභාණ්ඩ ආදියද ලට ගෙන ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සද්භාවයෙන් ස්ථාපිත කළ මෙම බදු අභියාචනා කොමිෂන් සභාව අද වනවිට සුදු අලියෙක් බවට පත්ව ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරිහු චෝදනා කරති.
මෙතෙක් කලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ ඇති සමාලෝචන මණ්ඩලය ඉදිරියේ මෙම අභියාචනා විභාග විය. එහෙත් බදු අභියාචනා කොමිසම ස්ථාපිත කළ පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තිබූ අභියාචනා ගොනු 120 ක් පමණ මෙම කොමිසම වෙත පවරා ඇත.
ඒ අනුව පසුගිය මාස හය තුළ මෙම අභියාචනා 120 විභාග කර අවසන් කළ යුතු වුවත් අදාළ කාලය තුළ එකම අභියාචනයක් හෝ විභාග කර නැතැයි ඉහත ආරංචිමාර්ග සඳහන් කළේය.
ඒ අනුව එම අභියාචනා මගින් රජයට අයවිය යුතුව තිබූ රුපියල් කෝටි 800 ක මුදලක් අහිමවිවී ඇති බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති.
http://www.divaina.com/2011/10/02/news05.html
No comments:
Post a Comment