Wednesday, October 12, 2011

ගාල්ල අවට මුහුදු තීරයේ ඩයිනමයිට්‌ රජ කරයි

රත්ගම - සංඛ විඡේසූරිය

ගාල්ල අවට මුහුදු තීරයේ ඩයිනමයිට්‌ යොදා මසුන් ඇල්ලීම මේ දිනවල බහුලව සිදු කෙරෙන බැව් ප්‍රදේශයේ ධීවරයෝ පවසති.

දඩල්ල, ගිංතොට, දොඩන්දූව, පටුවත සහ හික්‌කඩුව අවට ගොඩබිම මුහුදේ මෙසේ දහවල් කාලයේ ඩයිනමයිට්‌ පුපුරුවා මසුන් ඇල්ලීම නිසා කුඩා මුහුදු ජීවින් හා කොරල් පර විනාශ වීම සිදුවන බවත් විශාල මසුන්ට අමතරව කුඩා මසුන් ද මිය යන නිසා උන් වෙරළට ගසා ගෙන විත් වෙරළ තීරයේ විශාල දුර්ගන්ධයක්‌ ඇතිවී විශාල පාරිසරික හානියක්‌ සිදුවන බවත් ජනතාව පෙන්වා දෙති.

ගොඩබිම මුහුදේ දහවල් කාලයේ මෙසේ ඩයිනමයිට්‌ පුපුරුවා හැරීමේදී අඩි 30-40 ක්‌ පමණ උසට විශාල ජල ප්‍රමාණයක්‌ විදින අයුරු ප්‍රදේශවාසීන්ට දැකගත හැකිය. වෙරළ ආසන්නයේ ඇති නිවාසද දෙදරුම් කන බැව් ප්‍රදේශවාසීහු පවසති.

මේ පිළිබඳව නාවික හමුදාවටත් අදාළ බලධාරීන්ටත් ධීවරයින් විසින් ජංගම දුරකථන මගින් නිතර නිතර දැනුම් දුන්නත් කිසිදු පියවරක්‌ ගෙන නැති බැව් පැවසේ. ඇතැම් අවස්‌ථාවලදී මෙසේ බලධාරීන්ට දැනුම් දීමට මැදිහත්වන අයගේ ජංගම දුරකථනවලට මරණීය තර්ජන එල්ලකරමින් පණිවුඩ ලැබෙන බවද ධීවරයෝ පෙන්වා දෙති.

පසුගියදා දොඩන්දූව පියරතන ධර්මසාර මහා විද්‍යාලයේ පැවැති සිවිල් ආරක්‍ෂක කමිටුවට පැමිණ සිටි ධීවරයන් පිරිසක්‌ මෙම කරුණු පිළිබඳව හික්‌කඩුව පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට දැනුම් දුන්හ.එම කරුණු සලකා බැලූ හික්‌කඩුව පොලිස්‌ ස්‌ථානාධිපති ගුණරත්න මහතා මේ පිළිබඳව නාවික හමුදාව සමග සාකච්ඡා කර වහාම එම ඩයිනමයිට්‌ යොදා මසුන් මරණ කල්ලිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව දැනුම් දුන්නේය. එමෙන්ම තොරතුරු තමාට පමණක්‌ දැනුම් දෙන්නැයි සඳහන් කරමින් ධීවරයන්ට තමාගේ පෞද්ගලික ජංගම දුරකථන අංකයද ගුණරත්න මහතා විසින් ලබාදෙන ලදී.

http://www.divaina.com/2011/10/12/provin03.html

No comments:

Post a Comment