Saturday, October 15, 2011

අපනයන ණය රක්‍ෂණ සංස්‌ථාව ගිය වසරේ රු.කෝටි 128 ක්‌ ගිලී

බුමුතුරුණු හා ගෘහ භාණ්‌ඩවලට වියදම ලක්‍ෂ 30 ක්‌!

අජිත් අලහකෝන්

රජයේ චක්‍රලේඛ හා මුදල් රෙගුලාසිවලට පටහැනිව ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්‌ථාව 2010 වසරේදී රුපියල් එකසිය විසි අට කෝටි පනස්‌ නවලක්‍ෂ හැටදහසක්‌ වියදම් කර ඇතැයි විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වේ. ඊට අමතරව විවිධ පාර්ශ්වයන් ගෙන් වසර ගණනාවක්‌ තිස්‌සේ සංස්‌ථාවට ලැබිය යුතු රුපියල් විසි තුන් කෝටියකට ආසන්න මුදලක්‌ අය කර ගැනීම සඳහා අපනයන ණය රක්‍ෂණ සංස්‌ථාවේ පාලකයින් කිසිදු අවධානයක්‌ යොමු කර නැති බවද විගණකාධිපතිවරයාගේ වාර්තාව පෙන්වා දෙයි.

කලක්‌ අධික ලෙස ලාභ ඉපැයූ අපනයන ණය රක්‍ෂණ සංස්‌ථාව වසරින් වසර පාඩු ලබන තත්ත්වයකට පත්වෙමින් තිබියදී ද කොළඹ නවම් මාවතේ පිහිටි කාර්යාලයට බුමුතුරුණු එළීමට සහ අලුතින් ගෘහ භාණ්‌ඩ මිලදී ගැනීම සඳහා පමණක්‌ රුපියල් ලක්‍ෂ තිහකට ආසන්න මුදලක්‌ වැය කර ඇත.

සංස්‌ථාවේ අභ්‍යන්තර විගණන අංශයද ඉහළ බලධාරීන් විසින් පසුගියදා වසා දමා ඇති අතර ඉහළ කළමනාකාරීත්වයට අප්‍රසාදය පළ කරමින් මේ වන විට අපනයන ණය රක්‍ෂණ සංස්‌ථාවේ සේවකයන් තිස්‌ අටදෙනකු සේවයෙන් ඉවත්ව ගොස්‌ ඇත.

ඒ අනුව පනස්‌ හත් දෙනකු සිටිය යුතු සංස්‌ථාවේ දැනට සිටින්නේ සේවකයන් විසි නව දෙනකු පමණක්‌ බවද පැවසේ.

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ පවතින ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්‌ථාවේ ඉහළ කළමනාකාරිත්වය එහි පවතින අඩුපාඩු සහ අක්‍රමිකතා සඟවමින් ජනාධිපතිවරයාවද නොමඟ යෑවීමට උත්සාහ ගන්නා බවද පවසන සේවකයෝ ඉහළ නිලධාරින්ගේ අකාර්යක්‍ෂමතාව නිසා රජයට ලැබිය යුතු විශාල මුදලක්‌ අහිමිවෙමින් තිබෙන බවද කියති.

http://www.divaina.com/2011/10/15/news07.html

No comments:

Post a Comment