Wednesday, October 5, 2011

බත් පැකට්‌ නිෂ්පාදකයන් 205 කගේ ලියාපදිංචි අයදුම්පත් ඉවතට

ඒමන්ති මාරඹේ

ලියාපදිංචි වීම සඳහා අයදුම් කළ කොළඹ නගර සභා සීමාවේ බත් පැකට්‌ නිෂ්පාදකයන් 315 දෙනාගෙන් 205 දෙනකුගේම අයදුම්පත් ඔවුන්ගේ බත් පැකට්‌ පරිභෝජනයට සුදුසු මට්‌ටමක නොපැවැතීම හේතුවෙන් ප්‍රතික්‍ෂේප කළ බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් මහතා 'දිවයින'ට පැවැසීය.

මේ අනුව කොළඹ නගර සභා සීමාවේ අලෙවි කෙරෙන බත් පැකට්‌ නිෂ්පාදකයන් ලියාපදිංචි කිරීම සඳහා ලබා දී තිබූ අවසන් දිනය වූ ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා වන විට ලියාපදිංචිය ලබා දී ඇත්තේ බත් පැකට්‌ නිෂ්පාදකයන් 110 දෙනකුට පමණක්‌ බව වෛද්‍ය කාරියවසම් මහතා කීවේය.

ලියාපදිංචිය ලබා දී ඇති සෑම බත් පැකට්‌ නිෂ්පාදනයකම සඳහන් කිරීම සඳහා ලියාපදිංචි අංකය, බත් පැකට්‌ අසුරනු ලබන වේලාව, දිනය, නිෂ්පාදකයාගේ ලිපිනය / දුරකථන අංකය යනාදිය සඳහන් නිල මුද්‍රාවක්‌ එම නිෂ්පාදකයන්ට ලබා දී ඇති අතර බත් පැකට්‌ටුවක්‌ අලෙවි කළ හැක්‌කේ එය ඇසුරූ වේලාවේ සිට පැය හතරක කාලයක්‌ තුළ පමණක්‌ බවට නියම කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.

ලියාපදිංචිය ලබා දී ඇති සෑම බත් පැකට්‌ නිෂ්පාදනයකම ලියාපදිංචි නිල මුද්‍රාව සඳහන් කර ඇතිද යන්න හා ලියාපදිංචිය නොලැබූ බත් පැකට්‌ නිෂ්පාදකයන් තවමත් අලෙවි කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ (04 දා) සිට විශේෂ වැටලීම් අරැඹූ බවද කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවැසීය. එසේ නීතියට අනුකූලව ක්‍රියා නොකරන බත් පැකට්‌ නිෂ්පාදකයන්ට එරෙහිව නඩු පැවැරීම ඇතුළු දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

දැනට ලියාපදිංචිය ලබා ඇති බත් පැකට්‌ නිෂ්පාදකයන් සඳහා විශේෂ හැඳුනුම්පතක්‌ ළඟදීම නිකුත් කිරීමට කොළඹ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර ලියාපදිංචිය ලබා දීම ප්‍රතික්‍ෂේප කරන ලද බත් පැකට්‌ නිෂ්පාදකයන්ගේ තත්ත්වය වර්ධනය කිරීමට පියවර ගන්නේ නම් ඒවාට ඉදිරියේදී ලියාපදිංචි ලබාදීමට පියවර ගන්නා බවද වෛද්‍ය කාරියවසම් වැඩිදුරටත් කීවේය.

http://www.divaina.com/2011/10/05/news07.html

No comments:

Post a Comment