Saturday, October 1, 2011

ජාතික ඖෂධ ප්‍රතිපත්තියකට නව පනත් කෙටුම්පතක්

සන්ධ්‍යා කරුණාරත්න

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පත මේ මස මුලදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට නීතිපති හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව මේ කෙටුම්පත මේ වසර අවසාන වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මේ බව ඊයේ (30 දා ) ප්‍රකාශ කළේය. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මෙරටට මුලින්ම හඳුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ගුණානුස්මරණය මේ මස 17 වැනිදාට යෙදෙන බවත් ඔහුට කරන උපහාරයක් වශයෙන් මේ ප්‍රතිපත්තිය ඉක්මණින්ම ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය. මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ඉක්මනින්ම අවසන් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද උපදෙස් ලබාදී ඇත.

ප්‍රමිතියෙන් යුක්ත ගුණාත්මක ඖෂධ ජනතාවට ලබාදීම ද මේ ප්‍රතිපත්තියෙන් බලාපොරොත්තු වේ. මෙසේ ඖෂධ ප්‍රතිපත්තිය ඇතුළු පනත් හතක් සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා කීය. මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම් (සංවර්ධන) සරත් චන්ද්‍රසිරි විතාන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) වෛද්‍ය විමල් ජයන්ත, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ මහත්වරු සහභාගි වූහ.


http://www.dinamina.lk/2011/10/01/_art.asp?fn=n1110017

No comments:

Post a Comment