Thursday, October 13, 2011

ගෑස්‌ නිධියේ වටිනාකම ඊළඟ කැණීමේදී තක්‌සේරු කරනවා

ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත

ශිරාන් රණසිංහ

මන්නාරම ද්‍රෝණියේ තිබෙන ගෑස්‌ නිධියේ වාණිජ්‍ය වටිනාකම තක්‌සේරු කිරීම ඊළඟ කැණීමේදී සිදුවන බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා "දිවයින"ට පැවසීය.

මන්නාරම් ද්‍රෝණියේ ගෑස්‌ මෙන්ම තෙල් නිධි තිබෙන බවට මේ වනවිට තහවුරු වී තිබෙන අතර සීමාසහිත කෙයාන්ස්‌ ලංකා සමාගම කළ පළමු කැණීමේදීම ගෑස්‌ නිධියක්‌ ඇති බවට සොයාගෙන ගිවිසුමට අනුව නිල වශයෙන් එය රජයට දැනුම් දුන් බවද ඇමැතිවරයා කීවේය.

තෙල් හා ගෑස්‌ නිධි කැණීමේ ක්‍රියාවලිය පියවරෙන් පියවර කළ යුතු එකක්‌ බවත් ලෝකයේ ප්‍රධාන පෙළේ ගෑස්‌ හා තෙල් නිධි කණින සමාගම් වුවද දැන් මෙරටට පැමිණ මෙම තෙල් හා ගෑස්‌ සම්පත ගොඩට ගැනීමට ඉදිරිපත් වනු ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙරට තෙල් ගවේෂණ කටයුතු මුලින්ම සිදු කළේ නෝර්වේ සමාගමක්‌ යෑයි කී ඇමැතිවරයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත කළ ටෙන්ඩර් කැඳවීමෙන් පසු ඉන්දියානු කෙයාන්ස්‌ සමාගම හා චීන සමාගමක්‌ තෙල් නිධි කැණීමේ පළමු අදියර සඳහා ඉදිරිපත් වූ බවද කීවේය. මෙහි දෙවැනි හා තෙවැනි අදියර කැණීම් කටයුතු සඳහා යළිත් ටෙන්ඩර් කැඳවන බවත් ඒ සඳහා ලොව ප්‍රධාන පෙළේ සමාගම් ඉදිරිපත් වනු ඇතැයි දැන් විශ්වාස බවත් ඇමැතිවරයා කීවේය.

ගෑස්‌ නිධි ගොඩට ගැනීම තුළින් කෙරවළපිටිය, කැලණිතිස්‌ස විදුලිබලාගාර ආදිය ගෑස්‌ මගින් ක්‍රියාත්මක කර විදුලිය ඉතා අඩු මිලට ජනනය කිරීමේ වාසිය මෙන්ම පරිසරයට විමෝචනය වන කාබන් ප්‍රමාණය අඩුකරමින් විශාල ආර්ථික ජයග්‍රහණයක්‌ද මෙමගින් රටට ලැබෙන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා යටතේ ක්‍රියාත්මක ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය මෙම තෙල් හා ගෑස්‌ නිධි කැණීම් පිළිබඳව නිරතුරුව සොයා බලමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඇමැතිවරයා කීවේය.


http://www.divaina.com/2011/10/13/news16.html

No comments:

Post a Comment