Saturday, October 15, 2011

පාසල් දරුවාට ලිංගික අතවර කළ චීන ජාතික වැඩ පරීක්‍ෂකට ඇප

පියදාස රණසිංහ - අතුරුගිරිය

කොළඹ වටරවුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදු කෙරෙන පෝරේ වැඩබිම ආසන්නයේ දී 16 හැවිරිදි පාසල් සිසුවකු රවටාගෙන ගොස්‌ නව මාර්ගයේ පස්‌ කඳුවලට මුවාවී සැඟවී සිසුවාට බරපතළ ලිංගික අතවර සිදු කරන ලද බවට චෝදනා ලබා සතියක කාලයක්‌ රිමාන්ඩ් බාරයට පත්කර සිටි චීන ජාතිකයකු රුපියල් එක්‌ලක්‌ෂ පනස්‌දහසක ඇප කොන්දේසි යටතේ මුදාහැරීමට කඩුවෙල දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය නියෝග කළාය.

සැකකරු වෑං ඈන් යං නමැති 46 හැවිරිදි පුද්ගලයෙකි. අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමක ඕවර්සියවරයකු වන මොහුට එරෙහි පැමිණිල්ල අතුරුගිරිය පොලිසිය මගින් අධිකරණය හමුවේ ගොනුකර තිබේ.

සිද්ධිය වූ දින දහවල් මෙම පාසල් ශිෂ්‍යයා පෝරේ මහ වෙල්යායේ සරුංගල් අරිමින් සිටියදී සැකකාර චීන ජාතිකයා ඔහුට මුදල් දී රවටාගෙන ගොස්‌ අධිවේගී මාර්ගයේ අලුතින් ගොඩගසා ඇති පස්‌කඳු අතර සැඟවී අතවරයට ලක්‌ කරනු එම වැඩබිමේ ලොරි රියෑදුරකු දැක ඇතැයිද පසුව තවත් පිරිසක්‌ සමග සැකකරු අල්ලා පොලිසියට භාරදී ඇතැයිද පොලිසිය අධිකරණයට වාර්තා කර තිබේ.

සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවීමට නියම කළ දිසා විනිසුරුවරිය ඔහු ඉහත කී ඇප කොන්දේසි යටතේ මුදාහරිමින් වැඩිදුර විභාගය ඔක්‌තෝබර් 28 දිනට කල්තැබුවාය.

අතුරුගිරිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක කපිල සේනානායක මහතාගේ අධීක්‌ෂණය ඇතිව උප පොලිස්‌ පරීක්‌ෂක ඡේ. ඒ. ක්‍රිස්‌ටෝපර් මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්‌වීය.

http://www.divaina.com/2011/10/15/news22.html

No comments:

Post a Comment