Monday, October 17, 2011

දේශීය ආහාර වර්ග ප්‍රචලිත කිරීමට ජංගම රථ

සමන්මලී ප්‍රියශාන්ති

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සියලුම දේශීය නිෂ්පාදන ජනතාවට බෙදා හැරීමේ අරමුණෙන් නිෂ්පාදන රැගත් ජංගම වෙළෙඳ රථ ප්‍රධාන නගරවලට පිටත් කර යැවීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර තිබේ.

මෙම වෙළෙඳ රථවලින් දේශීය පලතුරු බීම, ඔසු පැන්, තේ, කෝපි, කොළ කැඳ වැනි පාන වර්ග පහසු මිලට ලබා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබේ.

පාරම්පරික සහල් වර්ග, සහල් පිටි මෙන් ම එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකි පෝෂ්‍යදායි ආහාර වර්ග ද මෙම වෙළෙඳ රථවලින් මිලදී ගැනීමට හැකියාව ඇත.

වස විස නැති ආහාර ජනතාවට ලබා දීමේ අරමුණෙන් කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.

මෙහි ප්‍රධාන වෙළෙඳසල නාරාහේන්පිට කිරි මණ්ඩල මාවතේ ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ප්‍රධාන මූලස්ථානයේදී පසුගියදා (06) කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිනි කුමුදුනී ගුණසේකර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ. ඊ. කරුණාතිලක මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


http://www.dinamina.lk/2011/10/17/_art.asp?fn=n11101712

No comments:

Post a Comment