Sunday, October 16, 2011

කොට්‌ටාව-ගාල්ල අධිවේගී පාරේ මීටර් අටදහසක කාපට්‌ නියමිත ප්‍රමිතියට නෑ!

නිලන්ත මදුරාවල

රුපියල් බිලියන අනූවක්‌ පමණ වැය කරමින් ඉදි කෙරෙන කොට්‌ටාව ගාල්ල අධිවේගී මාර්ගයේ කොට්‌ටාව සිට දොඩංගොඩ දක්‌වා ඇතිරූ කාපට්‌ ප්‍රමිතියෙන් තොර වීම නිසා ඉන් මීටර් අටදහසක පමණ ප්‍රමාණයක්‌ ඉවත්කර යළි ඇතිරීමට සිදු වී තිබේ. චයිනා හාබර් නමැති සමාගම විසින් ඉදිකරන ලද මෙම කොටස ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ආනයනය කළ විශේෂ යන්ත්‍රයකින් කළ පරීක්‍ෂණයකින් පසුවය.

ප්‍රමිතියෙන් තොර ස්‌ථාන මීටර් තුනහමාරක පළලින් හා මිලිමීටර් දෙකක ඝනකමකින් යුත් කොටස්‌ මීටර් සියය දෙසීය වශයෙන් මේ දිනවල ඉවත් කරමින් පවතී. මෙම චීන සමාගම භාරගත් කිලෝමීටර් තිහේ කාපට්‌ කොටසට පහළින් දමා ඇති පස්‌ තට්‌ටුද නියමිත පරිදි තැන්පත් කර නැති බවට ද ඉංජිනේරුවන් අතර සැක පහළ වී ඇත.

දොඩංගොඩ සිට ගාල්ල දක්‌වා වන කිලෝ මීටර් 66 ක පමණ ප්‍රමාණය ජපන් සමාගම් දෙකක්‌ මගින් ඉදි කරන අතර එම කිලෝ මීටර් ප්‍රමාණයේ ඉවත් කිරීමට සිදු වී ඇත්තේ මීටර් දෙසීයයක පමණ කොටසකි.

විශේෂ යන්ත්‍රයක්‌ ගෙන්වා මාර්ග සංවර්ධන අධිකාරිය පරීක්‍ෂා නොකළේ නම් මෙම ප්‍රමිතියෙන් තොර තත්ත්වය අනාවරණය නොවන බව ඉංජිනේරුවරු පවසති.

ඉවත් කරන කොටස්‌ යළි අතුරණු ලැබුවත් එය කොපමණ කාලයක්‌ පවතී ද යන්න ගැටලු සහගත බව පෙන්වා දෙන ඔවුහු ඒ සඳහා අමතරව දැරීමට සිදුවන මුදල චීන සමාගම පියවා ගන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතු යෑයිද ප්‍රකාශ කරති.

http://www.divaina.com/2011/10/16/news06.html

No comments:

Post a Comment