Monday, January 23, 2012

කෝටි ගණනක යකඩ කොටස් හොර රහසේ ඉන්දියාවට

නාවලපිටිය පොලිසිය මහ පරිමාණ ජාවාරමක් හෙළිකර ගනී

ගම්පොළ සමූහ

නාවලපිටිය දුම්රිය අංගනයේ ඇති දුම්රිය මැදිරිවල රුපියල් කෝටි ගණනක් වටිනා යකඩ කොටස් කෑලිවලට කපා හොර රහසේ ඉන්දියාවට යැවීමේ මහපරිමාන ජාවාරමක් නාවලපිටිය පොලිසිය මගින් අල්ලා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.



ලංකාවේ දුම්රිය ස්ථාන අතුරින් විශාලම දුම්රිය අංගනයක් හිමිව ඇති නාවලපිටිය දුම්රිය පෙලේ වසර ගණනාවක් සිට රුපියල් කෝටි ගණනාවක් වටිනා දුම්රිය මැදිරි හා උපාංග අනාරක්‍ෂිතව දමා ඇත. මෙම අංගනයද වල් බිහිවී කැළයට යට වෙමින් පවති.

අක්කර ගණනාවක් පුරා පැතිර ඇති මෙම දුම්රිය අංගනයට ඇතුළුවන පුද්ගලයින් මෙහි ඇති දුම්රිය මැදිරි කොටස් මේ අයුරින් කෑලීවලට කපා ඉවත් කිරීම සිදුකර ඇත්තේ මෙහි ආරක්‍ෂිත විධි ක්‍රමයක් නොමැති නිසාය.

අත්අඩංගුවට ගත් මෙම තිදෙනා රාත්‍රී කාලයේ දුම්රිය අංගනයට ඇතුළු වී දුම්රිය රෝද හා එහි ඇක්ෂල කපමින් සිටියදී නාවලපිටිය පොලිස් ස්ථානාධිපති උදය වික්‍රමසේකර ඇතුළු අපරාධ අංශයේ නිලධාරීන් පාන්දර හතර වනතුරු රැවල්ලා සිට මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

නාවලපිටිය නගරයේ පදිංචි මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී ටොන් ගණනාවක් බර මෙම යකඩ තොග ඉන්දියාවට යැවීම සඳහා බාරදෙන බවද අනාවරණය කරගෙන ඇත.

නාවලපිටිය පොලිසිය මගින් මෙම සිද්ධිය නාවලපිටිය දුම්රිය බලධාරීන්ට දැනුම් දී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තු ධාවනාගාර පෝර්මන් කේ. ඒ. ඩී. එම්. තිලකරත්න මහතාගෙන් මේ පිළිබඳ විමසීමේදී කපා ඇති මෙම එක රෝදයක බර ටොන් එකකට වඩා වැඩි බවද ඇක්ෂලයක් පමණක් කිලෝ 300ක් පමණ බර බවද පැවසීය. දුම්රිය අංගනයේ සඟවා තිබූ කේබල් තොගයක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත. යකඩ කැපීමට ගන්නා උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් තිදෙනා නාවලපිටිය මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගම්පොල කොට්ඨාසබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ප්‍රනාන්දු ස.පො. අ. වී. විමලදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත නාවලිපටිය පොලිස් ස්ථානාධිපති උදය වික්‍රමසේකර අපරාධ අංශයේ පො.ප. චන්දන ගමගේ උ.පො.ප. සුගත් විජේසිංහ පො. සැරයන්වරුන් වන විජේතුංග පි‍්‍රයන්ත, පොලිස් කොස්තාපල් පෙරේරා විජේකෝන් යන නිලධාරිහු පරීක්‍ෂණ පැවැත්වූහ.

http://www.dinamina.lk/2012/01/23/_art.asp?fn=u1201233

No comments:

Post a Comment