Saturday, January 21, 2012

ඔයාමඩුවේ මුඩුබිම් වගාවට බදු දෙන්න - ජනාධිපති උපදෙස්‌ දෙයි

අනුර බාලසූරිය ශ්‍යාම් නුවන්, පර්සි කුරුනේරු හා තිරප්පනේ සමන් පෙරේරා

අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ මුඩුබිම් බවට පත්ව තිබෙන රජයේ ඉඩම් අක්‌කර භාගය බැගින් වගා කටයුතු සඳහා බදු ක්‍රමයට ප්‍රදේශවාසීන්ට ලබාදෙන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ අංශ වෙත ඊයේ (20) උපදෙස්‌ දුන්නේය.

ඔයාමඩුව දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වෙන භූමිය ඊයේ (20 දා) නිරීක්‍ෂණයට ගිය අවස්‌ථාවේදී එම ප්‍රදේශයේ රජයට පවරාගත් ඉඩම් මුඩුබිම් බවට පත්ව ඇති බව අනාවරණය වීමෙන් පසු ජනාධිපතිවරයා මෙසේ උපදෙස්‌ දී තිබේ.

ඔයාමඩුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 80 ක්‌ සඳහා නිවාස ණය ලබාදීමත් දැනට ඉදිවෙමින් පවතින නිවාස සඳහා උළු පරිත්‍යාග කිරීමත් ජනාධිපතිවරයා අතින් මෙදින සිදු විය.

ප්‍රදර්ශනය භූමියේ අක්‌කර 10 කින් සමන්විත කෘෂිකර්ම වැඩබිම් වෙත ගිය ජනාධිපතිවරයා පරිසරයට ආවේණික පැළෑටි සහ බීජ වර්ග සැකසුම් මධ්‍යස්‌ථානයක්‌ ඉදිකරන ලෙසත් ඊට ඉදිරියේදී අවශ්‍ය වන ප්‍රතිපාදන ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස්‌ දී ඇත.

පරිසර හිතකාමී ස්‌ථිර නිවාඩු නිකේතනයක්‌ නාවික හමුදා ප්‍රදර්ශන භූමියේ ඉදිකිරීමට උපදෙස්‌ දුන් ජනාධිපතිවරයා මිලියන 30 ක වියදමින් සිදු කෙරෙන ග්‍රාමීය ජල ව්‍යාපෘතිය ගැන සොයා බලා ඉදිරියට ග්‍රාමීය ප්‍රදේශවල පානීය ජල සම්පාදන ව්‍යාපෘති සඳහා නව තාක්‌ෂණය යොදා ගන්නා ලෙසටද උපදෙස්‌ දී ඇත.

මතු ප්‍රයෝජනයට ගත හැකි පරිදි ප්‍රදර්ශන භූමියේ ස්‌ථිර ගොඩනැගිලි ඉදිකෙරෙන අතර වී ගබඩා කිරීම සඳහා යොදාගත හැකි ගොඩනැගිලි සංකීර්ණයද ජනාධිපතිවරයාගේ නිරීක්‍ෂණයට භාජන විය.


http://www.divaina.com/2012/01/21/news08.html

No comments:

Post a Comment