Saturday, March 17, 2012

Henanigala incident (3 items)

වනජීවි නිලධාරීහු තිදෙනා රිමාන්ඩ්

දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග

දෙහිඅත්තකණ්‌ඩිය හේනානිගල ආදිවාසී ගම්මානයේ අභය භූමියේ දී වනජීවි නිලධාරීන් විසින් වෙඩි තබා ආදිවාසී දෙදරු පියකු ඝාතනය කළ බවට වනජීවි නිලධාරීන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන දෙහිඅත්තකණ්‌ඩිය වැඩබලන මහෙස්‌ත්‍රාත් බී. කේ. එස්‌. කේ. සුමතිපාල මහතා වෙත ඊයේ (16 දා) ඉදිරිපත් කිරීමෙන් පසු 19 දක්‌වා බදුල්ල රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල, මහඔය සහකාර පොලිස්‌ අධිකාරී පියංකරද සිල්වා, දෙහිඅත්තකණ්‌ඩිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජයශාන් යන මහත්වරු පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසු සැකපිට වන සත්ව අඩවි සහකාර එම්. එම්. කරුණාරත්න (53), වන සත්ව නියාමක ආර්. එම්. ශාලිත ගිහාර, සිවිල් ආරක්‌ෂක නිලධාරී ඒ. එම්. අත්තනායක ජයතිස්‌ස යන අය සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. වනජීවි නිලධාරීන් පාවිච්චි කළ පතරොම් තුවක්‌කු 2 ක්‌ ආදිවාසීන් පාවිච්චි කළ පතරොම් තුවක්‌කු 1 ක්‌ සමග උපකරණ අධිකරණයට ඉදිරිපත් කළහ.

අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති සුමනරත්න පො. සැ. 28350 සරත්, පො. සැ. 2236 නිමලසිරි, පො. සැ. 22726 බංඩාර, පො. සැ. 33965 උපසේන, පො. කො. 19370 ස්‌වර්ණා බංඩාර, 36741 නිශ්ශංක, 43822 කුමාරසිංහ යන මහත්වරු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ.


http://www.divaina.com/2012/03/17/news22.html


ආදිවාසී තරුණයාගේ මියයැම ගැන හේතු සොයා බලා නීතිය ස්‌වාධීනව ක්‍රියාත්මක කරනවා
- ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන

සචිනි ගුණරත්න

දෙහිඅත්තකණ්‌ඩියේ හෙනානිගල ආදිවාසී ගම්මානයේ පිහිටි අභය භූමියේ දී ආදිවාසියෙක්‌ වෙඩිවැදී මියයැම පිළිබඳව සාධාරණව හේතු සොයා බලා නීතිය ස්‌වාධීනව ක්‍රියාත්මක කරන බව ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15 වැනිදා) වනජීවී අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක්‌ අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් ඇමැතිවරයා මෙම ඝාතනය සිදුවූ ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක්‌ කළේය.

ඉකුත් 14 වැනිදා මාදුරුඔය ජාතික උද්‍යානයේ හෙනානිගල අභය භූමියේ සේවයේ නියුතු අඩවි සහකාර එච්. එම්. කරුණාරත්න මහතාට රාත්‍රියේ දී වෙඩි ශබ්දයක්‌ ඇසී තිබෙනවා. එම වෙඩි ශබ්දය පරීක්‌ෂා කිරීම සඳහා මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ වනජීවී නිලධාරීන් පිරිසක්‌ උද්‍යාන පිවිසුමේ සිට මාදුරුඔය ජාතික උද්‍යානය තුළට ගමන් කරන ප්‍රධාන මාර්ග ඔස්‌සේ මීටර් 250 ක්‌ පමණ උද්‍යානය තුළට ගොස්‌ රැකවරණයේ යෙදෙමින් සිටියා. ඔවුන් සිටි දෙසට වෙනත් කණ්‌ඩායමක්‌ විදුලි පන්දම් දල්වමින් පැමිණ තිබෙනවා. එම කණ්‌ඩායම අප නිලධාරීන් ආසන්නයට පැමිණීමත් සමග අප නිලධාරීන් සිය විදුලි පන්දම් දල්වා තමුන් වනජීවී නිලධාරීන් යෑයි හඳුන්වා දී තිබෙනවා. එවිටම දඩයම්කරුවන් අප නිලධාරීන්ට වෙඩි තබලා.

එහිදී තම ආත්ම ආරක්‌ෂාව සඳහා අප වනජීවී නිලධාරීන්ද දඩයම්කරුවන්ට වෙඩි තබා තිබෙනවා. එම අවස්‌ථාවේදී ගිනි අවි අතැතිව තිබූ දඩයම්කරුවන් කිහිප දෙනෙක්‌ පලාගොස්‌ තිබෙනවා. එක්‌ දඩයම්කරුවකු මරණයට පත්වුණා.

මේ පිළිබඳව විමර්ශන කටයුතු දෙහිඅත්තකණ්‌ඩිය වැඩබලන මහෙස්‌ත්‍රාත් එස්‌. ඕ. කේ. එස්‌. සුමතිපාල මහතා විසින් පෙරේදා (15 දා) පැවැත්වූ අතර දෙහිඅත්තකණ්‌ඩිය අධිකරණ වෛද්‍ය අනුරුද්ධ කොඩිතුවක්‌කු මහතා වෛද්‍ය පරීක්‌ෂණ පැවැත්විය.


http://www.divaina.com/2012/03/17/news25.html


අපේ පරම්පරාවට යන්න අවසර නැති නම් මේ කැලෑවේ අයිතිකාරයෝ කවුද ?
- රැහේ කැකුළාගේ ඝාතනයෙන් වන්නිලැඇත්තන් ශෝක වෙයි


මහියංගණය - අතිරේක රංජිත් කරුණාවීර

දෙහිඅත්තකණ්‌ඩිය හෙනානිගල ආදිවාසී ගම්මානයේ තලාවරිගයේ සුනිලා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආදි වාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් තම දැඩි අප්‍රසාදය ප්‍රකාශ කර සිටී. ඒ පිළිබඳ "දිවයින" පත්‍රයට විශේෂ ප්‍රකාශයක්‌ ලබාදෙමින් ආදිවාසී නායකයා මෙසේ ප්‍රකාශ කර සිටියේය.

අපේ පරම්පරාව කැලෑවත් එක්‌ක තමයි ජීවත් වෙන්නේ. මේ කැලෑවේ දඩයම් කරන එක මී පැණි හොයන එක කැලෑ අලි හොයන එක, ලෙඩට දුකට, අවශ්‍ය බෙහෙත් පැළෑටි හොයන එක තමයි අපේ පරම්පරාවේ සිරිත. මේ කැලෑවයි අපේ පරම්පරාවයි දෙකක්‌ නෙවෙයි එකක්‌. එතකොට කැලෑවට අපිට යන්ඩ අවසර නැත්නම් අපේ පරම්පරාවේ අයට යන්ඩ බැරිනම් මේ කැලේ මොන එකාටද? ඒකට යන්ඩ අවසර දීලා තියෙන්නේ. මොන එකාටද? මේක පළමු වතාව නොවෙයි. මේ මාස දෙකේදී අපේ එක්‌කෙනකුට වෙඩි තියලා අබ්බගාතයෙක්‌ බවට පත් කරලා තියෙනවා. පෙරේදා රෑ හේනානිගල අපේ පරම්පරාව ජීවත් වෙන ගම්මානයේ අපේ තරුණයකුට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්‌ වෙඩි තියලා එක්‌කෙනෙක්‌ මැරිලා තියෙනවා. 1983 ඉඳලා අපේ මිනිස්‌සු කැලේට ගියේ හොරෙන්. මම ආණ්‌ඩුවේ වගකිවයුතු අයත් එක්‌ක සාකච්ඡා කරලා කැලේට යන්ඩ අපේ ජනතාවට අවසර අරගෙන දුන්නා. හැබැයි අද වෙන කොට මේ දීලා තියෙන අවසරේ බොරු එකක්‌. මේ අවසරේ ජනාධිපතිතුමා විසින් ලබා දුන්නත් අධ්‍යක්‍ෂතුමා ලබාදුන්නත් මේ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කරලා නෑ. අපි තුන්දෙනා විතරයි ඒක දන්නේ. මගේ වරිගේ අය මම නිතරම දැනුවත් කරනවා. ඒත් දෙපාර්තමේන්තු නිලධාරීන් තවමත් මේ පිළිබඳ දැනුවත් වෙලා නෑ.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරි ටිකක්‌ ඉන්නවා. රටේ ජනාධිපතිතුමාටත් වඩා බලයක්‌ තියෙන බලයක්‌ තිබෙනවා කියලා පෙන්වන නිලධාරීන් සුළු පිරිසක්‌. ඒ මිනිසුන්ගේ ඔළුවට පොඩි තට්‌ටුවක්‌ දාලා මේ ගැන තේරුම් කරලා දෙන්ඩ ඕන. එන කොටවත් මේ මිනිස්‌සුන්ට ඒක තේරෙයිනෙ. එහෙම කළේ නැත්තම් අර අවුරුදු 30 ක්‌ තිබ්බ යුද්ධය වගේ යුද්ධයක්‌ මේ කැලෑ ඇතුළෙන් ආරම්භ වෙන්ඩ පුළුවන්. මම නායකයා කියලා මගේ පිරිසට කරදර හිරිහැර වෙනකොට ඒ අය පාලනය කරන්ඩ බැරි වෙයි. ඒවගේ ගැටලුවක්‌ ඇති වුණු දාට ඒ ගැන සාකච්ඡා කරන්ඩ එන්ඩ වෙන්නේ මේ ආණ්‌ඩුවේ නිලධාරින්ටමයි.


http://www.divaina.com/2012/03/17/news09.html


ආදිවාසී තරුණයාට වෙඩි තැබීම ගැන නායකයාගේ විරෝධය

මාපාකඩ වැව සමූහ

දෙහිඅත්තකණ්ඩිය - හේනානිගල ආදි වාසී ගම්මානයේ තලා වරිගයේ සුනිලා වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආදි වාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් තමන්ගේ දැඩි අප්‍රසාදය ප්‍රකාශ කර සිටී. ඒ පිළිබඳ දිනමිණ පත්‍රයට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් ආදිවාසි වන්නිලා ඇත්තන් ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි.

“ අපේ පරම්පරාව කැලෑවත් එක්ක තමයි ජීවත් වෙන්නේ. මේ කැලෑවේ දඩයම් කරන එක, මීපැණි හොයන එක, කැලෑ අල හොයන එක, ලෙඩට දුකට අවශ්‍ය බෙහෙත් පැළෑටි හොයන එක තමයි අපේ පරම්පරාවේ සිරිත. මේ කැළෑවයි අපේ පරම්පරාවයි දෙකක් නෙවෙයි එකක්. එතකොට කැලෑවට අපිට යන්ඩ අවසර නැත්නම්, අපේ පරම්පරාවේ අයට යන්ඩ බැරිනම් මේ කැලේ කාටද? මේක පළවෙනි වතාව නොවෙයි.

මේ මාස දෙකේදී අපේ එක්කෙනෙකුට වෙඩි තියලා අබ්බගාතයෙකු බවට පත්කරලා තියෙනවා. පෙරේදා රෑ හේනානිගල අපේ පරම්පරාව ජීවත්වෙන ගම්මානයේ අපේ තරුණයෙකුට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් වෙඩි තියලා එක්කෙනෙක් මැරිලා තියෙනවා. 1983 ඉඳලා අපේ මිනිස්සු කැළේට ගියේ හොරෙන්. මම ආණ්ඩුවේ වගකිවයුතු අයත් එක්ක සාකච්ඡා කරලා කැළේට යන්ඩ අවසර අපේ ජනතාවට මම අරගෙන දුන්නා.

හැබැයි අද වෙන කොට මේ දීලා තියෙන අවසරේ බොරු එකක්. මේ අවසරේ ජනාධිපතිතුමා විසින් ලබා දුන්නත් අධ්‍යක්ෂකතුමා ලබා දුන්නත් මේ වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කරලා නෑ. අපි තුන්දෙනා විතරයි ඒක දන්නෙ. මගේ වරිගයේ අයට මම නිතරම දැනුවත් කරනවා සහ කරලා තියෙනවා. ඒත් දෙපාර්තමේන්තු නිලධාරීන් තවමත් මේ පිළිබඳ දැනුවත් වෙලා නෑ. මේ ගැටලුව අවම වෙන්ඩ කියලා මගේ පරම්පරාවේ 15ක් වනජීවි එකට රැකියා සඳහා දාලා තියෙනවා.

අද වෙනකොටවත් ඒ ගැටලුව තාම විසඳිලා නෑ. කැළෑව කියලා කියන්නේ අපේ පරපුරේ මුල්තැන. මේ කැළෑව නැත්නම් අපේ පරම්පරාව තියෙන්ඩ විදියක් නෑ. මෙහෙම වෙඩි තියාගෙන වෙඩි තියාගෙන යනකොට අපේ පරම් පරාව විනාශ වෙනවා. මේ වගේ ඒවාට කව්රුවත් විසඳුම්, දෙන්ඩ ඉදිරිපත් වෙන්නේ නෑ. පෙරේදා අපේ වරිගයේ කෙනෙකුට වනජීවි එකේ නිලධාරීන් වෙඩි තිබ්බාට පස්සෙ ;හ්නානිගල ගම්මානයේ ජනතාව කුපිතවෙලා සිදු කරන්ඩ ගිය විනාශය මම අනුමත කළා නම් ලොකු විනාශයක් වෙන්ඩ තිබුණා.

ජීවිත 6 - 7 ක් නැති වෙන්ඩ තිබුණා. ආදි වාසී අපේ අයත් නිකන් බලන් ඉන්න එකක් නෑ. මා මැදිහත් වෙලා වෙන්ඩ ගිය ලොකු විනාශය වැළැක්වූවා. වනජීවි එකේ මහත්වරුන්ට උසස්වීම් ලැබෙයි. අපේ වරිගයේ අය දවසින් දවස මරණයට පත් වෙනවා. අපේ පරම්පරාව විනාශ වෙනවා. මේ ගැන ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමුවෙලා මේ අපිට ලබාදීලා තිබෙන අවසරය වනජීවී දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරින්ට කටින් කියන්ඩ ඕන ආදි වාසීන්ට කැළේ ජීවත්වීමට අයිතිය අවසරය තියෙනවා කියලා. කොළකෑලිවල ඒ බව සඳහන්ව තිබ්බාට බෑ. කටින් කියන්ඩ ඕනෑ. යැයි ආදිවාසි නායක දඹාන ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ආවේගශීලීව ප්‍රකාශ කර සිටියේ ය.


http://www.dinamina.lk/2012/03/17/_art.asp?fn=u1203171

No comments:

Post a Comment