Tuesday, February 14, 2012

Fuel subsidy and its cost (3 items)

ඉන්ධන සහනාධාරය ඊයේ සිට ක්‍රියාත්මකයි
මසකට කෝටි 190ක්
මහින්ද අලුත්ගෙදර

සහන අවශ්‍ය සියලු ක්ෂේත්‍රයන් සඳහා ලබාදෙන ඉන්ධන සහනාධාරය ඊයේ (13) සිට ක්‍රියාත්මක බව රජය අවධාරණය කරයි.

ඒ අනුව ශ්‍රී ලංගම, දුම්රිය, ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා හා ධීවර බෝට්ටු හිමිකරුවන් වෙනුවෙන් මේ ඉන්ධන සහනය ලබාදීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් මාසිකව වෙන්කරන මුදල රුපියල් කෝට් 190 ක් බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ශ්‍රී ලංගම, දුම්රිය, ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, ධීවර බෝට්ටු හා විදුලිය නොමැති නිවාස ආදිය වෙනුවෙන් සහනය හිමි වෙයි.

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ එකඟතාව මත ඔවුන් දිනකට ධාවනය කරන දුර ප්‍රමාණය ගණනය කර ජාතික ප්‍රවාහන කොමිසමේ නිර්දේශ මත ලංකා බැංකුව හා මහජන බැංකුව හරහා වැඩිවූ ඉන්ධන මිල අදාළ බස් හිමියන්ට ගෙවන බවද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය කියයි.

මේ සහනාධාරය විධිමත්ව ක්‍රියාත්මක කරන තෙක් පෞද්ගලික බස්රථ හිමියන්ගේ බැංකු ගිණුම්වලට විශේෂ අත්තිකාරම් මුදලක් ඊයේ (13) සිට බැර කිරීමට පියවර ගෙන ඇත. එමඟින් බලපත්‍රලාභී බස්රථ හිමියන්ට මේ ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක්ද පැන නොනඟිනු ඇත.

මඟී ප්‍රවාහන ත්‍රීරෝද රථ වෙනුවෙන් දිනකට පෙට්‍රල් ලීටර් 3 ක් සඳහා ලීටරයට රුපියල් 10 බැඟින් ඉන්ධන සහනාධාරයක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත ලබාදීමට ද පියවර ගෙන තිබේ.

ඊට අමතරව ධීවර අමාත්‍යාංශයේ නිර්දේශ අනුව බෝට්ටු හිමියන් දෛනිකව භාවිත කරන ඉන්ධන ප්‍රමාණය සළකා වැඩි වූ ඉන්ධන ගාස්තුව මේ සතියේ සිට ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරේ.

මේ අතර ජාතික ප්‍රවාහන කොමිසමේ හා ජාතික ළමාරක්ෂක අධිකාරියේ ලියාපදිංචිවී ඇති පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන සඳහා ඔවුනට ද දිනකට ධාවනය කරනු ලබන දුර ප්‍රමාණය අනුව සහනාධාරය ලබා දෙයි.

ඊට අමතරව විදුලි බලය නොමැති පවුල් වෙත සමෘද්ධි නිලධාරීන්ගේ මාර්ගයෙන් ඉදිරි දින කිහිපය තුළ විශේෂ භූමිතෙල් සහනාධාර මුද්දරයක් නිකුත් කිරීමටද කටයුතු යොදා තිබේ.


http://www.dinamina.lk/2012/02/14/_art.asp?fn=n1202146


ඉන්ධන සහනාධාරයට මාසයකට කෝටි 190 ක්‌

අකිත පෙරේරා

වත්මන් ඉන්ධන මිල ඉහළ යැම හමුවේ පෞද්ගලික බස්‌ රථ ඇතුළු සේවා සපයන්නන් වෙනුවෙන් ඉන්ධන සහනාධාරයක්‌ ලබාදීමට මාසයකට රුපියල් කෝටි 190 ක්‌ ලබාදීමට රජය තීරණය කර ඇත. මේ අනුව එම සහනාධාරය ශ්‍රී ලංගම, දුම්රිය, ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා සහ ධීවර බෝට්‌ටු හිමියන් සඳහා ද ඊයේ (13 වැනිදා) පටන් ලබා දෙන බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ එම්. ජී. ජයතිස්‌ස මහතා පැවැසීය.

දිනකට ධාවනය කරනු ලබන දුර ප්‍රමාණය මත පෞද්ගලික බස්‌ හිමියන් සඳහා අදාළ සහනාධාරය ලබා දෙන බවද ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ නිර්දේශය සලකා ලංකා බැංකුව සහ මහජන බැංකුව හරහා මෙම මුදල් ගෙවන බවද හෙතෙම කීය.

වැඩි වූ ඉන්ධන මිල සලකා ත්‍රිරෝද රථ සඳහා ද දිනකට පෙට්‍රල් ලීටර් 03 ක්‌ සඳහා ලීටරයකට රුපියල් 10 බැගින් සහනාධාර ලබාදෙන බව කී ඒ මහතා ධීවර අමාත්‍යාංශයේ නිර්දේශය මත ධීවරයන්ටද ඉන්ධන සහනාධාරය ලබාදෙන බව පැවැසීය.

මේ අතර පාසල් ප්‍රවාහන සේවා සඳහා ද ඉන්ධන සහනාධාරය ලබාදෙන අතර විදුලි බලය නොමැති පවුල් සඳහාද භූමිතෙල් සහනාධාර මුද්දරයක්‌ නිකුත් කරන බවද මුදල් අමාත්‍යාංශ අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවැසීය.


http://www.divaina.com/2012/02/14/news05.html

රජයේ ඉන්ධන සහනාධාරයට වසරකට රු. මිලියන 24,000ක්

ජයසිරි මුණසිංහ සහ ජීවනී පතිරණ

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීමත් සමඟ පොදු ජනතාවට සෙත සැලැසීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන ඉන්ධන සහනාධාරය සඳහා වසරකට රුපියල් මිලියන විසිහතර දහසක් වැය වෙතැයි ගණන් බලා තිබේ.

ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය විය.

මේ ඉන්ධන සහනාධාරය පෞද්ගලික බස් රථ හිමියන්ට, ත්‍රිරෝද රථ හිමියන්ට, පාසල් වෑන් රථවලට, ධීවර බෝට්ටු හිමියන්ට, විදුලි බලය නොමැති ගම්මානවල භූමිතෙල් භාවිත කරන පිරිස්වලට හිමිවන බව ද මෙහිදී අනාවරණය විය.

එම මාධ්‍ය හමුවේදී මේ කරුණු ද අනාවරණය විය.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ යෑමත් සමඟ මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනය නොකළේ නම්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් රුපියල් බිලියන 188.5 (මිලියන 1,8,8,500) අලාභයක් දැරීමට සිදුවන බව ගණන් බලා තිබේ.

මේ මස 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් මිල ගණන් සංශෝධනය කළත්, රුපියල් බිලියන 63.6 නොඑසේ නම් මිලියන හැටතුන්දහස් හයසියය අසූතුනක අලාභයක් සංස්ථාවට දැරීමට සිදුවන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එස්. සමරතුංග මහතා හෙළිදරව් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (13) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ලේකම්වරයා එසේ කීය.

මේ මාධ්‍ය හමුවට එකතු වූ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩ්‍රස් මහතා, විදුලි බලය නිපදවීමට යොදාගන්නා ඉන්ධන වර්ග හතරක මිල ඉහළ දැමීමත් සමඟ රුපියල් බිලියන 40 ක නැතිනම් මිලියන හතළිස් දහසක අමතර වියදමක් දැරීමට සිදුවන බව අනාවරණය කළේය.

මේ වසර ආරම්භයේදී බලශක්ති භාවිත කොට විදුලිය නිපදවීමට වැය වන ඇස්තමේන්තු ගත මුදල වූයේ රුපියල් බිලියන 179 කි. එය මිල ගණන් ඉහළ යෑමත් සමඟ රුපියල් බිලියන 219 ක් දක්වා ඉහළ නඟින බව ද ලේකම්වරයා පැහැදිලි කෙළේය.

ඒ අනුව මේ වියදම පියවා ගැනීමට විදුලි බිල ගාස්තු වැඩි කිරීමට ක්‍රියා කරන්නේද? අධිභාර ගාස්තුවක් අයකරන්නේ ද? නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගැනීමට අපක්‍ෂපාත, ස්වාධීන නියාමන කොමිසමට කරුණු ඉදිරිපත් කර ඇතැයි ද කීය.

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල මහතා - පෞද්ගලික බස් රථ හිමියන්ට, පාසල් වෑන් රථවලට, ත්‍රිරෝද රථවලට, ධීවර බෝට්ටුවලට සහ විදුලි බලය නොමැති ප්‍රදේශවල ජනතාවට ඉන්ධන සහනාධාරය ලබාදීමට මාසයකට රුපියල් බිලියන 2 බැගින් වසරකට රුපියල් බිලියන 24 ක් වැයවනු ඇතැයි ගණන් බලා ඇතැයි පැවැසීය.


http://www.dinamina.lk/2012/02/14/_art.asp?fn=n12021410

1 comment:

  1. දැන් බස් ගාස්තු වැඩි කළාෙන්... සහනාධාරයක් පුද්ගලික බස්වලට අවශ්‍ය නැහැ ෙන්ද?

    ReplyDelete