Friday, March 2, 2012

මාර්ග සංවර්ධනයට බිලියන 12 කට වැඩි ගිවිසුම් තුනකට අත්සන් තබයි

අනුර බාලසූරිය

රුපියල් බිලියන 12 කට අධික මුදලක්‌ වැයකරමින් සිදුකෙරෙන මාර්ග සංවර්ධනය සඳහා වූ ගිවිසුම් තුනකට මහාමාර්ග අමාත්‍යාංශය හා මහජන බැංකුව ඊයේ (01 වැනිදා) අත්සන් තැබීය.

වරාය හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී එම ගිවිසුමට අත්සන් තැබුණු අතර මෙමගින් ප්‍රධාන මාර්ග ව්‍යාපෘති තුනක්‌ සංවර්ධනය කෙරෙණු ඇත.

කිලෝමීටර් 97 ක්‌ වන අනුරාධපුර - ත්‍රිකුණාමලය මාර්ගය, කිලෝමීටර් 34.19 වන ඉබ්බාගමුව - කුඹුක්‌ගැටේ - මඩගල්ල මාර්ගය හා නාරම්මල - ගිරිඋල්ල මාර්ගය මෙමගින් ප්‍රතිසංස්‌කරණය කෙරෙනු ඇත.

මේ සඳහා රුපියල් බිලියන 12 කට අධික මුදලක්‌ (12,257,490,528.43) මහජන බැංකුව විසින් වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය වෙත ලබාදෙන ලදී.

මෙම සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති දේශීය කොන්ත්‍රාත් කරුවන් මගින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරෙන බව වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා - මේ රටේ මාර්ග පද්ධතියේ සංවර්ධනය පසුගිය කාලයේ දී තිබුණේ කොල කෑලි වලට විතරයි. ලංකා සිතියමේ මාර්ග ලකුණු කරලා තිබුණට ඒවායේ ගමන් කිරීමේ අපහසුතාවන් තිබුණා. නමුත් 2005 න් පස්‌සේ මේ රටේ ඉහළ මාර්ග සංවර්ධනයක්‌ කෙරීගෙන යනවා. ඒ සංවර්ධනය එක පළාතකට සීමා වෙලා නෑ. රාජ්‍ය පාලකයන් බිහිවෙච්ච ප්‍රදේශ පමණයි ඉතිහාසයේදී සංවර්ධනය වුණේ. නමුත් අද රාජ්‍ය නායකයන් බිහිවෙච්ච ප්‍රදේශ පමණක්‌ නොව අනෙකුත් ප්‍රදේශත් සංවර්ධනය වෙනවා.

ජනාධිපතිවරයා දකුණු පළාත පමණක්‌ සංවර්ධනය කරන්නේ නෑ. අද මේ රටේ මාර්ග පද්ධතියම සංවර්ධනය වීමක්‌ තමයි සිදුවන්නේ. ඒවා සිදු කෙරෙන්නේ දේශීය බැංකු සමඟ එක්‌වෙලා. අද අත්සන් කරපු ගිවිසුමත් ඒවාගේ එකක්‌. මහජන බැංකුව කියන්නේ අපේ රටේ තියෙන දේශීය ජනතාව සමඟ ඒකාබද්ධ වූ බැංකුවක්‌. අද අත්සන් කරපු පුත්තලම, අනුරාධපුර හරහා ත්‍රිකුණාමලය දක්‌වා දිවෙන මාර්ගයේ අනුරාධපුරයේ සිට ත්‍රිකුණාමලය දක්‌වා කොටස කි.මි. 97.1 තියෙනවා. මෙම මාර්ගය උතුරේ දකුණේ නැගෙනහිර ජනතාව එකතු කරන්න පුළුවන්. ත්‍රිකුණාමලය, හොරොව්පතාන, කැබතිගොල්ලෑව ආදී ප්‍රදේශවල ජනතාවට මේ මාර්ග ජාලය සංවර්ධනය කිරීම තුළින් යහපතක්‌ ඇති වෙනවා.

නැගෙනහිර ජනතාවට උතුරු මැදට - වයඹ පළාත හරහා අනෙකුත් ප්‍රදේශ වලට ගමන් කරන්න මේ මාර්ග පද්ධතිය වඩාත් වැදගත් වෙනවා.

මෙම අවස්‌ථාවට වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්. ආර්. ප්‍රේමසිරි, වරාය හා මහාමාර්ග අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් චන්ද්‍රd රාජපක්‍ෂ, මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිනී ශෝබනී ප්‍රතාපසිංහ, සහකාර සාමාන්‍යාධිකාරිනී (ආයතනික) අනෝමා ලියනාරච්චි, මාගා ඉංජිනේරියන් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ කපිතාන් එම්. ජී. කුලරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ.


http://www.divaina.com/2012/03/02/news18.html

No comments:

Post a Comment