Monday, March 12, 2012

වල්ගම ඇඟලුම් කම්හලකින් මුදා හරින ඩයි වර්ගයකින් පොල්හේනේ කොරල්පර අවදානමක

මාතර සමූහ ඩබ්ලිව්. පී. ධර්මසේන

මාතර වල්ගම ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් මුදාහැර ඇති රසායනික ඩයි වර්ගයක් නිසා මාතර පොල්හේන මුහුදු තීරයේ කොරල් පර සහ ජල ජීවීන් විනාශවීමේ අවදානමක් ඉස්මතු වී ඇත.


ඩයි මුසුවූ ජලයෙන් පොල්හේන කඳන් දෙක ඇළ මාර්ගයේ ජලය සම්පූර්ණයෙන්ම කළු පැහැ ගැන්වී ඇති අයුරු.


පොල්හේන මුහුදු තීරයට මුදා හැර ඇති ඩයි වර්ගය මුසුවූ කළුපාට ජල සාම්පල් බෝතලය මාතර පරිසර පොලිසියේ ස්ථානාධිපති උ.පො.ප. පූවලසේන, මහජන සෞඛ්‍ය පරීක්ෂක ජගත් කුමාර ගොඩකුඹුර ඇතුළු නිලධාරීන් පරීක්ෂා කරන අයුරු ඡායාරූපයෙහි දැක්වේ.

ඡායාරූප:- මාතර සමූහ ඩබ්ලිව්. පී. ධර්මසේන

මෙම සිද්ධියට සම්බන්ධව ඇඟලුම් කම්හලේ හිමිකරු කළමනාකරු සහ රාත්‍රි වැඩමුරය භාරව සිටි පුද්ගලයා ඇතුළු තිදෙනෙක් මාතර පරිසර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කර්මාන්ත ශාලාවේ බතික් සහ රෙදි ඩයි කිරීමට යොදාගත් රසායනික ඩයි වර්ගය නැවත පිරිසුදු කිරීමකින් තොරව 10 දින රාත්‍රී 8.30ට පමණ කර්මාන්ත ශාලාවේ ඇති කානුවට මුදාහැර ඇත.

එම ඩයි වර්ගය මුසුවූ ජලය සැතපුම් 3ක් පමණ දුර ගෙවා පොල්හේන කඳන් දෙක ළඟ ඇළ හරහා පොල්හේන නාන තොටුපල ආසන්නයට ගලාගෙනවිත් ඇති අතර ඇළ මාර්ගයේ මුළු ජලයම කළුපාට වී ඇත.

මේ අනුව මාතර පරිසර පොලිසියේ ස්ථානාධිපති උ.පො. ප. පූවලසේන, සැරයන් 55992 මලවරආරච්චි, පො. කො. 45478 සරත්, පො. කො. 57998 විතාරණ, පො. කො. 80015 ජයසේන, මහජන සෞඛ්‍ය පරීක්ෂක ජගත් කුමාර ගොඩකුඹුර යන මහත්වරුන් විසින් එයට අදාළ සැකකරුවන් තිදෙනා සහ ජල සාම්පල් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් තිදෙනා අද දින මාතර අතිරේක මහෙස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය වෙත ඉදිරිපත් කරන ලදී. මේ විෂ සහිත ඩයි වර්ගය අද දිනය තුළ පොල්හේන මුහුදු තීරයට ඇතුල්වීමට හැකි අතර මෙය ඇතුළත්වීමත් සමඟ කොරල්පර, ජලජ ශාඛ සහ ජලජීවී මත්ස්‍යයන් විනාශවීමට හැකි බවට පරිසරවේදීන් අනතුරු හඟවති.

සිද්ධිය සම්බන්ධයෙන් පරිසර පොලිසිය වෙනම පරීක්ෂණයක් සිදුකරන අතර මාතර මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නලින් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ. සිරිවර්ධන, මහජන සෞඛ්‍ය පරීක්ෂක ජගත් කුමාර ගොඩකුඹුර යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


http://www.dinamina.lk/2012/03/12/_art.asp?fn=n12031211

No comments:

Post a Comment