Tuesday, March 6, 2012

ඇමැති කතරගම මැණික් ඉල්ලම් පස් පැහැරගනී

* ට්‍රක් රථ 20ක පටවාගෙන පලා ගිහින්
* නගරාධිපතිවරයෙක් - ප්‍රා.ස. සභාපතිවරයෙක් - ප්‍රා. ‍ලේකම්වරයෙක් - ග්‍රාම නිලධාරිවරයෙක් හවුල්

කතරගම ලුණුගම්වෙහෙර මාර්ගයේ තම්මැන්නාව මැණික් වෙන්දේසි භූමියට පසුගියදා (04) දහවල් කඩා වැදුණු ඇමැතිවරයකු ඇතුළු පිරිසක් මාර්ගයේ අතුරා තිබූ මැණික් ඇති බවට සැකකරන ඉල්ලම් පස් ට්‍රක් රථ 20ක පටවාගෙන පලාගිය බව එම ප්‍රදේශයේ රැකව‍ලේ සිටි ආරක්ෂක අංශ නිලධාරීහු පවසති.
මේ සඳහා අදාළ ඇමැතිවරයා සමග ප්‍රාදේශීය ‍ලේකම්වරයකු, ග්‍රාම නිලධාරීවරයකු, ප්‍රාදේශීය සභා සභාපතිවරයකු හා දකුණු පළාතේ නගරාධිපතිවරයකු සමග කතරගම ප්‍රදේශයේ ප්‍රකට ජාවාරම්කාර ව්‍යාපාරිකයකු සහභාගි වී තිබේ. කතරගම ලුණුගම්වෙහෙර මාර්ගයේ 
දෙපස වසා දමා සාමාන්‍ය වැසියන්ට තහනම් කලාපයක් ලෙස නම් කර ඇති මේ ප්‍රදේශයට පැමිණ ඇති ඇමැතිවරයා ජාතික ස්වර්ණාභරණ අධිකාරියේ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන්ද ඇතුළු විශාල පිරිසක් බලා සිටියදී බැකෝ යන්ත්‍ර යොදාගෙන මාර්ගයේ අතුරා තිබූ පස් ට්‍රක් රථවලට පටවාගෙන ලුණුගම්වෙහෙර ප්‍රදේශයට පලාගොස් තිබේ.
වටිනා මැණික් ඇති බවට සැකකරන කතරගම ලුණුගම්වෙහෙර මාර්ගයේ අතුරා තිබූ පස් ට්‍රක් රථ 20ක් පමණ මෙසේ බලහත්කාරයෙන් රැගෙන ගිය බව ඇසින් දුටුවෝ පවසති.
ජාතික ස්වර්ණාභරණ අධිකාරිය විසින් සිදු කළ මැණික් ඉඩම් වෙන්දේසියේදී මෙම ඉඩම් කැණීම් සඳහා අදාළ ගැනුම්කරුවන්ට බැකෝ යන්ත්‍ර යෙදීම සපුරා තහනම් කර ඇති අතර, එසේ තිබියදී ‍පොලිස් මුරක‍පොලු 04 තුළින් රිංගා ජාවාරම්කරුවන් බැකෝ යන්ත්‍ර යොදාගෙන බලහත්කාරයෙන් මාර්ගයේ අතුරා තිබූ පස් හාරා රැගෙනයාම පිළිබඳව ප්‍රදේශවාසීහු විරෝධය පළ කරති. ජාවාරම්කරුවන් පිරිස රැගෙන ගිය මෙම ඉල්ලම් පස් මේ වන විට කතරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයාට අයත් ගල් කොරියක ගොඩබා එම පස් සහිත ඉල්ලම සෝදමින් ඇතැයි ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින් දැනගන්නට හැකිව තිබේ.
කතරගම ‍පොලීසියද දැනුවත්ව මහ දවල් සිදුවූ ජාවාරම පිළිබඳව වෙන්දේසියෙන් මැණික් ඉඩම් ලබාගත් ඇතැම් ගැනුම්කරුවන්ද ආරක්ෂක අංශ නිලධාරීන්ද ප්‍රදේශවාසීන්ද මේ පිළිබඳව තම විරෝධය හා කනස්සල්ල පළ කරති
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2035:bbbbbe&catid=99:dawasepradanapuwatha

No comments:

Post a Comment