රවින්ද්‍ර කාරියවසම්
අගනුවරට ආසන්න තෙත් බිමක් වන මුතුරාජවෙල අභය භූමිය කුට්ටි කර විකිණීමේ උත්සාහයක ප්‍රදේශයේ දේශපාලඥයන් හා ඔවුන් ගේ හිතවත් පුද්ගලයන් නිරත වී සිටින බැව් වාර්තා වෙයි. මේ වන විටත් පර්චස් 10 බැගින් වෙන් කළ ඉඩම් කට්ටි 800ක් පමණ ඉඩම් කට්ටියක් රුපියල් 3500ක් වැනි සුළු මුදලකට විකිණී ඇත. මෙසේ ඉඩම් ලබාගත් පුද්ගලයන් නිල්සිරිගම, ලිනස්වේල්ල, වැලි කැටිය හා පමුණුගම යන ප්‍රදේශවල පිහිටි අභය භූමියට අයත් ඉඩම් මේ වන විටත් එළිපෙහෙළි කර වෙන් කර මං මාවත් පවා ඉදි කර ඇත. එසේ ම වටිනා කඩොලාන පරිසර කපා ගිනිතබා විනාශ කර ඇත. වර්ෂ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව සහ 1995 පෙබරවාරි 23 වැනි දින අංක 854/14 දරන ගැසට් නිවේදනයට අනුව අභය භූමියක මායිමේ හා භූමිය තුළ කිසිදු මිනිස් ක්‍රියාකාරකමක් කිරීමට අවසර නැත. එසේ තිබිය දී කිසිදු නීතිමය අවසරයක් නැති ව හිතු මනාපේ වටිනා තෙත් බිම බෙදා වෙන් කර ගන්නේ කෙසේ ද, කා ගේ අනුමැතියක් ඇති ව ද යනුවෙන් පරිසරහිතකාමීහු ප්‍රශ්න කර සිටිති. වර්ෂ 1989 දී ජාත්‍යන්තරව වැදගත් වන ලංකාවේ තෙත් බිම් 41ට මුතුරාජවෙල තෙත්බිම ද අයත් විය. ඉන්පසු වනසත්ත්ව හා තුරුලතා ආඥාපනත යටතේ 1996. 10. 31 වැනි දින අංක 947/13 දරන ගැසට් නිවේදනයෙන් මේ තෙත් බිම අභය භූමියක් බවට පත් කර ඇත. ඒ වන විට මෙහි විශාලත්වය හෙක්ටයාර 1029 කි. මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රකාශිත Wetland Directory of Sri Lanka නම් කෘතියේ මේ තෙත් බිමේ විශාලත්වය හෙක්ටයාර් 2569ක් ලෙස සඳහන් වෙයි. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ අත් පත්‍රිකාවක මුතුරාජවෙල පළමු කොටසේ හෙක්ටයාර 1028.6ක් වශයෙන් ද දෙවැනි කොටස හෙක්ටයාර 256.8ක් ලෙස ද සඳහන් වෙයි. මෙම දත්ත හේතුවෙන් මුතුරාජවෙල මායිම් කුමක්ද යන්නත් ගැටලුවක් වී ඇත.
http://www.vidusara.com/2012/02/29/news2.html
No comments:
Post a Comment