Monday, March 19, 2012

බදුල්ල නගරයෙන් බැහැර කරන කසළ මලංගමුව ගමට ගෙනැවිත් ගොඩගහලා

ජල උල්පත් අපිරිසුදු වීමෙන් ගම්වැසියන්ට ගැටලු රැසක්

ඌව-වෙල්ලස්ස සමුහ – වජිර උමගිලිය

බදුල්ල ප්‍රාදේශීය සභාවට අයත් මලංගමුව ගමේ ජල උල්පත් පිහිටි භූමියට ප්‍රදේශයේ කසළ අපද්‍රව්‍ය ගෙනවිත් දැමීම මේ වනවිට සිදුවෙමින් පවතී.


බදුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ එක්රැස්වන කසළ සහ බදුල්ල මහනගර සභාවට අයත් කසළ මේ ස්ථානයට මුදාහැරීම නිසා මේ වනවිට ප්‍රදේශයේ පරිසර හා සෞඛ්‍ය ගැටලු රැසක් උද්ගතව තිබේ.

බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මලංගමුව වත්තේ තෙල්බැද්ද කොටසේ මලංගමුව දියකදුර ආරම්භ වන ජල පෝෂක ප්‍රදේශය පිහිටා තිබේ. බදුල්ල මලංගමුව හරහා කැන්දගොල්ල ප්‍රධාන මාර්ගයේ සිට තද බෑවුම් සහිත ස්ථානය මේ වනවිට කුණු කසළවලින් පිරී පවතී. ප්‍රදේශය අවට අධික දුර්ගන්ධයක්ද තිබේ.

බදුල්ල ප්‍රාදේශීය සභාව හා බදුල්ල මහනගර සභාව ඒකාබද්ධව කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් මේ ස්ථානයේ ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මලංගමුව දෙමළ විද්‍යාලය පිහිටා ඇත්තේ මෙම ස්ථානය ආසන්නවයි. දැනට පවුල් 500 ක් පමණ ජලය ලබා ගන්නා ජල පෝෂකය පිහිටා ඇත්තේද මෙතනයි. මේ ජලය භාවිතා කරමින් ගමේ හා වත්තේ විශාල පිරිසක් ගෙවතු වගා පවත්වාගෙන යනු ලබයි. ප්‍රදේශයේ වැඩි පිරිසක් මලංගමුව ඔයේ ජලය භාවිත කරමින් එදිනෙදා තම අවශ්‍යතා ඉටුකර ගනිති.

ගඟ දෙපස පිහිටි මලංගමුව, සිරිමල්ගොඩ, පුස්සල්ගොල්ල රඹුක්පොත ගම්මානවලට මේ කසළ ගොඩ නිසා දැඩි පරිසර හානියකට ලක්වීමට සිදුව ඇති බව මලංගමුව පරිසරය සුරකීමේ සංවිධානය පවසයි.

මලංගමුව පරිසරය සුරකීමේ සංවිධානයේ ලේකම් එච්. එම්. ඩී. පේ‍්‍රමදාස මෙසේ කීවේය.

ගමේ පවුල් 400ක් විතර ජලය ලබාගන්නා උල්පොත පිහිටා තිබෙන්නේ මේ කසළ ගෙනවිත් දමන ස්ථානයේ. මලංගමුව දෙමළ විද්‍යාලයට හා වතු කම්කරු නිවෙස්වලට ජලය ලබා ගන්නේ මේ ස්ථානයෙන්.

පුස්සල්ගොල්ල, සිරිමල්ගොඩ, රඹුක්ගොල ප්‍රදේශවලටත් මේ පරිසර හානිය බලපානවා. මේ ස්ථානයෙන් ආරම්භ වන මලංගමුව කඳුර අතු ගංගා එකතු කරගෙන බදුල්ල ගඟට ගලා යනවා. විශාල පිරිසක් ගඟ දෙපස ජීවත්වන අය ජලය ලබා ගන්නේ මේ ඔයෙන් පහළට ගලා යන අපවිත්‍ර ජලය ඉදිරියේදී මේ අයට ලබාගන්න සිදුවන්නේ මෙය මහා විනාශයක්. මෙය නතර කරන්න කියලා බලධාරින්ගෙන් අප ඉල්ලා සිටිනවා.

බදුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණා මහතා,

බදුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සහ බදුල්ල මහ නගර සීමාවේ කසළ මලංගමුව ගමට ගෙනවිත් දමන්නට සූදානමක් තිබුණා. මේ සම්බන්ධව බදුල්ල ප්‍රාදේශීය සභාවේ රැස්වීමේදී යෝජනාවක් ගෙනාවා. බහුතර මන්ත්‍රීවරුන් එය අනුමත කළා. හැමතැනම තියෙන කුණු මේ එක තැනකට ගෙනත් දාන්න හදනවා. මෙතන ජල උල්පතක්. මීට පහළින් මලංගමුව වත්තේ දෙමළ විද්‍යාලය, වත්තේ කම්කරුවන්ගේ නිවාස පිහිටා තිබෙනවා. මේ සියල්ලටම බරපතළ ගැටලුවක් වෙනවා මේ සඳහා ප්‍රාදේශීය සභාවේ විරුද්ධත්වය ප්‍රකාශ කර තිබියදී එය නොතකා කටයුතු කරනවා.

ආර්. ඩී. පේ‍්‍රමරත්න,

කුණු දමන්න තෝරාගත් තැන පිළිබඳව අපේ දැඩි විරෝධයක් තිබෙනවා. අපේ විරෝධය නොතකා බදුල්ල ප්‍රාදේශීය සභාව මේ ළඟදී කුණු ටැංකි කිහිපයක් ගෙනවිත් දමලා තියෙනවා. මේ විනාශය කරන්න එපා කියලා බලධාරින්ට අපි කියනවා.

මේ ගම දාලා අපට යන්න තැනක් නැහැ ජනාවාස නැති තැනකට කුණු දැම්මට අපට කිසිම ප්‍රශ්නයක් නෑ. ගමට ඉහළින් තිබෙන්නේ ජල පෝෂිත ප්‍රදේශය පහළින් රජයේ පාසල, වතු නිවාස තිබෙනවා. මේ සියලුදෙනාම දැඩි පීඩාවට පත් වෙනවා.


http://www.dinamina.lk/2012/03/19/_art.asp?fn=r1203191

No comments:

Post a Comment