Monday, February 13, 2012

ඉදිරි මාස හය සැලකීමට ගෙන ඉන්ධන මිල නැංවීමට සිදු වුණා

- නි. ඇමැති සරණ ගුණවර්ධන

ශිරාන් රණසිංහ

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සීග්‍රයෙන් ඉහළ යැම සහ ඉරානයට එරෙහිව ක්‍රියාත්මක සම්බාධක නිසා ඉදිරි මාස හයක කාලය සැලකිල්ලට ගෙන රජයට ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ බව ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා "දිවයින" ට පැවසීය.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය, විදුලිබල අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු රජයේ ප්‍රධානීන් දීරඝ වශයෙන් සාකච්ඡා කළ බවද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

මගී බස්‌රථ, පාසල් වෑන් රථ, විදුලිබල මණ්‌ඩලය සහ ඉන්ධන සහනය ලබාදිය යුතුව ඇති ක්‍ෂේත්‍රවලට කඩිනමින් ඉන්ධන සහන සැලසීමට රජය තීරණය කර ඇති බවද ඇමැතිවරයා පැවසීය. ඒ සඳහා නිසි ක්‍රමවේදයක්‌ සකසා අදාළ අංශවලට ඉන්ධන සහනාධාරය ලබා දෙන බවද නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා පැවසීය.

මේ මොහොතේ ඉන්ධන මිල මෙලෙස ඉහළ දැමීම සෑම ක්‍ෂේත්‍රයකටම දැඩි ලෙස බලපාන මුත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල උච්චාවචනය හමුවේ රජයට වෙනත් විකල්පයක්‌ නොමැති බවද කීවේය. මෙතෙක්‌ කලක්‌ රජය විශාල ලෙස ඉන්ධන මත සහනාධාර ක්‍රියාත්මක කළ බවත් ලෝක වෙළෙඳපොළ මිල ගණන් හා සැසඳීමේදී තවමත් තෙල් වෙනුවෙන් රජය ඉන්ධන සහනාධාරය ලබාදෙන බවද ඒ මහතා කීවේය.


http://www.divaina.com/2012/02/13/news11.html

No comments:

Post a Comment