Saturday, February 4, 2012

හොර සිගරැට් සහ කසළ තේ අලෙවි කළ වෙළෙඳුන් තිදෙනෙක් මීගමුවේ දී දැලේ

කසළ තේ පිරිසුදු තේ කොළ සමඟ මිශ්‍ර කර කිලෝවක් රුපියල් 350කට අලෙවි කරලා

කොච්චිකඩේ විශේෂ - ඩී.මිහිඳුකුල

කසළ තේ කුඩු විකුණමින් සිටි වෙළෙන්දුන් දෙදෙනෙක් සහ නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි වෙළෙන්දෙක් මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම තේ කුඩු මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා විය. තේ කිලෝ 300ක් සහ දුම්වැටි 4020ක් තිබුණි. කසළ තේ කුඩු කිලෝවක් රු. 80 බැගින් මිලට ගෙන හොඳ තේ කොළ සමඟ මිශ්‍ර කර කිලෝවක් රු. 300,350 වැනි මිලකට විකිණූ බව එම වෙළෙන්දෝ පවසා තිබේ.


පොලිස් පරීක්ෂක ප්‍රසාද් ලියනගේ මහතා කසළ තේ කුඩු පරීක්ෂාකර බලමින් උප පොලිස් පරීක්ෂක රංජිත් මහතාද මෙහි සිටී. (ඡායාරූපය- කොච්චිකඩේ විශේෂ)

මේ කසළ තේ කුඩු, උඩුබද්දාව, ගම්පල වැනි ප්‍රදේශවලින් මිලට ගෙන තිබුණි. එක් තේ වෙළෙන්දෙක් මීගමුව ප්‍රනාන්දු මාවතේ පිහිටි සිය වෙළෙඳ සලේ තොග හා සිල්ලරට ඒවා විකුණමින් සිටියදී සහ අනෙක් වෙළෙන්දා මීගමුව ඉරිදා පොළේ සිල්ලරට තේ කුඩු විකුණමින් සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට පත් විය.

කසළ තේ කුඩුවලට වැනිලා මිශ්‍රකළ විට එම තේ කුඩු මිලදී ගැනීමට පාරිභෝගිකයෝ වැඩි කැමැත්තක් දක්වන බවද එම වෙළෙන්දෝ පැවැසූහ. මීගමුව කොට්ඨාස පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති හා මීගමුව පොලිස් අධිකාරි ආනන්ද ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් පිට මේ වැටලීම සිදු කෙරිණි.

මීගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හල්ලව මහතාගේ අධීක්ෂණය යටතේ මීගමුව පොලිසියේ දූෂණ මැඩලීමේ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් ලියනගේ පොලිස් පරීක්ෂක සිරිවර්ධන , උප පොලිස් පරීක්ෂක රංජිත්, පොලිස් සැරයන්වරු වන 19520 පෙරේරා, 27480 උපතිස්ස 27457 විජේසිරි පොලිස් කොස්තාපල් 3905 සූරියසිරි කාන්තා පොලිස් කොස්තාපල් 8190 පුෂ්පා යන නිලධාරීහු මීට සහභාගී වූහ.


http://www.dinamina.lk/2012/02/04/_art.asp?fn=r1202041

No comments:

Post a Comment