Monday, February 6, 2012

නර්ඩ් ආයතනය නව යන්ත්‍ර දෙකක් නිපදවලා

මඤ්ඤොක්කා පෙති කපන්න පහසුයි - මිල අඩු කාර්යක්ෂම දර උදුනක්

ගම්පහ සංචාරක නිමල් ජයසිංහ

රසවත් කටගැස්මක් වන බදින ලද මඤ්ඤොක්කා පෙති කර්මාන්තය දැනට ගෘහස්ථ හා කුඩා පරිමාණ කර්මාන්තයක් ලෙස දිවයින පුරා දැකගත හැකිය. දැනට මේ කර්මාන්තකරුවන් මයියොක්කා පෙති කපාගන්නේ පිහිය භාවිතයෙනි. එය මෙම නිෂ්පාදනවල ප්‍රමිතියට මෙන්ම ගුණාත්මක භාවයට ද බලපා ඇත. ලාභයද අඩු වී ඇත.

මඤ්ඤොක්කා පෙති කපන යන්ත්‍රය


නව උදුන

ඡායාරූප-ගම්පහ සංචාරක

ඒ අනුව මේ කර්මාන්තකරුවන්ට භාවිතා කළ හැකි යන්ත්‍ර දෙකක් හඳුන්වා දීමට ඒකල නර්ඩ් ආයතනය සමත් වී තිබේ.යන්ත්‍ර දෙකින් එකක් විදුලියෙන් සහ අනෙක අතින් ක්‍රියාකළ හැකි යන්ත්‍රයකි. විදුලියෙන් ක්‍රියාකරන යන්ත්‍රයේ විශේෂ ලක්ෂණ වනුයේ පෙතිවල ඝනකම මි.මී. 0.8 සිට වෙනස්කර ගැනීමේ හැකියාවයි.

එසේම පැයට කි.ග්‍රෑ. 60 – 80 ක ධාරිතාවයකින් යුත් වොට් 180ක මෝටරයක් මගින් ක්‍රියා කෙරේ. අතින් ක්‍රියා කරන යන්ත්‍රයේ විශේෂ ලක්ෂණ නම් පෙතිවල ඝනකම මි.මී. 06 සිට වෙනස්කර ගැනීමේ හැකියාවයි. එය පැයට කි.ග්‍රෑ. 10 පමණ ධාරිතාවයකින් යුතුය. එළවලු වර්ග ද විවිධ ඝනකම්වලට කපාගත හැකියි.

ඉඟුරු පෙති කැපීමට ද, කරවිල, කැරට්, අල ආදිය කපාගැනීමට යොදාගත හැකිය. මේ යන්ත්‍රය ගැන නර්ඩ් ආයතනයේ තාක්ෂණික අලෙවි අංශයෙන් විමසීමෙන් තොරතුරු ලබාගත හැකිවනු ඇත. එසේම නර්ඩ් ආයතනය ගෘහස්ථ හා කුඩා කර්මාන්තකරුවන්ට කාර්යක්ෂමව හා දේශීය අමුද්‍රව්‍ය හා ඉන්ධන යොදාගනිමින් අඩු වියදමකින් කටයුතු කර ගැනීමට කාර්මික දර උදුනක් නිපදවා ඇත.

මේ උදුන භාවිතා කළ හැකි අවස්ථා රාශියකි. හෝටල්, ආපනශාලා, හමුදා කඳවුරු ආදී ස්ථානවල වෑංජන සහ ආහාර පිසීමට, ගෘහස්ථ කුඩා පරිමාණ කර්මාන්ත සඳහා ‘බයිට්’ වර්ග බැදීමට, කුළුබඩු සැකසීමට, කිරිටොපි, දොදොල් වැනි රස කැවිලි නිෂ්පාදන කර්මාන්ත සඳහාද, කිතුල් පැණි හකුරු නිෂ්පාදනයේදී කාර්යක්ෂමව, ඉහළ ප්‍රමිතියෙන් නිපදවීමට හැකිය.

මේ උදුන එහා මෙහා ගෙනයාමටද පුළුවන. දර, පොල්පිති, පොල්කටු භාවිතා කළ හැකිය. පිසින ආහාරවලට දැලි, අළු නොයයි.

තාපය ඇති ස්ථානය කොන්ක්‍රීට් වර්ගයකින් ආවරණය කර ඇත. කල්පවතී. භාජනයට වදින රස්නය පාලනය කළ හැකිය. චිමිනි බටය නිසා දුම අවමයි. ඉවතලන හිස් තෙල් බැරල් භාවිතාවෙන් අඩුමිලකට නිපදවේ.


http://www.dinamina.lk/2012/02/06/_art.asp?fn=r1202063

No comments:

Post a Comment