Wednesday, March 14, 2012

නිල් මැණික්‌ වාසනාව අපිට අවාසනාවක්‌ වුණා

- තම්මැන්නාවැව දුප්පත් වැසියෝ කියති
ගමට එන්නත් කාඩ් පෙන්වන්න වෙලා - ගමේ තිබුණු පහසුකම් ටිකත් විනාශ කළා

තම්මැන්නාවැව ප්‍රධාන මාර්ගය විනාශ කර ඇති අයුරු
සේයා සහ සටහන( වීරවිල - එල්. එච්. කුසුම් ප්‍රියන්ත

කුලී වැඩක්‌ කරගෙන, හේනක්‌ කුඹුරක්‌ කරගෙන අමාරුවෙන් හරි ජීවත් වෙන්න තිබිච්ච ගමත් මේ වන විට විනාශ වී අවසන් බව තිස්‌සමහාරාම බෙරලිහෙල, තම්මැන්නාව වැව වැසියෝ ප්‍රකාශ කර සිටිති. ලුණුගම්වෙහෙරකතරගම තම්මැන්නාවැව හරහා වැටී ඇති ප්‍රධාන මාර්ගය සංවර්ධනය කරන අතුරතුරදී නිල් මැණික්‌ හමුවීමත් සමගම තම්මැන්නාවැව දුෂ්කර ගම්මානය දෙස්‌ විදෙස්‌ වාර්තා පොත්වලට ඇතුළත් විය. මාසයකට ආසන්න කාලයක්‌ පුරා එක්‌ දිනකට දහස්‌ ගණනක පිරිස්‌ ඒකරාශිව තම්මැන්නාවැවෙහි සැඟව ඇති මැණික්‌ සෙවීමෙහි නිරත වූහ. මෙසේ මැණික්‌ සෙවීමෙහි බොහෝ පිරිසක්‌ යොමු වී සිටියේ ඉදිකිරීම් සිදු කරන ප්‍රධාන මාර්ගයෙයි.

නිල් මැණික්‌ හමුවීමත් සමග ම තම ගම් ප්‍රදේශයෙහි යාන්තමින් හෝ පැවැති මූලික පහසුකම් පවා මේ වන විට තම්මැන්නා වැව වැසියන්ට අහිමිව ඉතා අසරණ ලෙස කාලය ගත කිරීමට සිදුව ඇති අතර මෙතෙක්‌ තමන් වෙනුවෙන් කිසිවකුගේ අවධානය යොමු නොවීම පිළිබඳව ජනතාව අදාල අංශ වෙත චෝදනා කරමින් ද සිටිති. ප්‍රදේශවාසීන්ට ගමන් බිමන් යැම සඳහා තිබූ එකම මාර්ගය මේ වන විට දැවැන්ත වළවල්වලින් පිරි බිම්කඩක්‌ බවට පත්ව ඇත. එහි පාපැදියකින් තබා පා ගමනින් හෝ ගමන් කිsරීමට නොහැකි තත්ත්වයකට පත්ව හමාරය.

තම්මැන්නාවැව වැසියන් හේන් ගොවිතැනට අමතරව සිදු කරනු ලැබුයේ කුඹුරු ගොවිතැනයි. මැණික්‌ සෙවීම සඳහා පැමිණි පුද්ගලයින් වැවෙන් ජලය ලබා ගන්නා ඇළ මාර්ග සියල්ල ගොඩකර විනාශ කිරීම නිසා දින විස්‌සකට ආසන්න කාලයක්‌ කුඹුරු ඉඩම් වෙනුවෙන් ජලය නොමැති වීමෙන් වගා බිම් විනාශ වී යාමේ තත්ත්වයකට ද පත්විය. වසර විස්‌සකට ආසන්න කාලයක්‌ පුරා පානීය ජල ප්‍රශ්නය විසඳා ගනු ලැබුයේ කිලෝමීටර හතරක පමණ දුර ගෙවාගෙන ගොස්‌ ගෙන එන ජලයෙනි. ඊට විසඳුමක්‌ ලෙස පසුගිය වසර තුළ පානීය ජල නළ පද්ධතියක්‌ තම්මැන්නා වැවට ලබාදුන් අතර මුදල් නොමැතිකමින් ජල පහසුකම් ලබාගත්තේ පවුල් පහකට වඩා අඩු සංඛ්‍යාවකි. කනගාටුවට කරුණ වන්නේ එළා තිබූ නළ පද්ධතියද මැණික්‌ සෙවීම නිසා විනාශ වී යැමයි.

මීට පෙර තම්මැන්නා වැව හරහා එක්‌ මගී බස්‌ රථයක්‌ ධාවනය වූ අතර එයද මේ වන විට නතරව ඇත. ප්‍රදේශයේ දරුවන් ආසන්න ගම්මානවල පිහිටා ඇති පාසල් වෙත අධ්‍යාපනයට ගමන් කළ ද බොහෝ සිසු පිරිසක්‌ මාසයකට ආසන්න කාලයක්‌ තුළ පාසල් නොගොස්‌ ඇත්තේ සිසුන්ගේ ආරක්‍ෂාව සැපයීමට දෙමාපියන්ට නොහැකි විය. වගා කටයුතු සිදු කරමින් තම ගෙවත්ත මනාව සකසා තිබූ ගම් වැසියන්ගේ කම්බි වැටවල් ගලවා ඉවත් කර ඇත. මේ වන විට ඉතා දිළිඳු හා දුගී බවින්ද දුෂ්කර බවින් ද ජීවත් වූ තම්මැන්නා වැසියන් මාර්ග, ප්‍රවාහන, අධ්‍යාපන අංශවලින් පමණක්‌ නොව ආර්ථික හා සමාජයීය අංශවලින් ද පිරිහී හමාර බව ප්‍රදේශය නිරීක්‍ෂණය කිරීමෙන් පැහැදිලි වේ. මැණික්‌ වාසනාව නිසා තමන්ට මුහුණපෑමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳ අදහස්‌ දක්‌වන ගම්වැසියන්.

පූජ්‍ය මාගම සිsරිනන්ද හිමි (තම්මැන්නාවැව ගිsරිහෙල්කඩ බෞද්ධාශ්‍රමයේ විහාරාධිකාරී) - අපේ ගමේ මැණික්‌ හමුවීම ඇත්තටම වාසනාවක්‌. ඒත් ගම්වැසියන්ටත් අපිටත් ඒ වාසනාව අවාසනාවක්‌ බවට පත් වීම කනගාටුවට කරුණක්‌. මේ ගමේ ජීවත් වුණේ ඉතා දුප්පත් පවුල් ටිකක්‌. ඔවුන් එදා ඉඳලා නිසි පහසුකම් ඉල්ලලා වගකිවයුත්තන්ට දැනුම් දුන්නා. යාන්තමට ජල පහසුකමත් විදුලිය පහසුකමත් විතරයි ලැබුණේ. ජල පහසුකම්, මාර්ග පහසුකම්, ගොවිතැන් පහසුකම් තිබුණු ටිකත් නිල් මැණිකේ අවාසනාවට මේ වෙන කොට ගමෙන් ඈත් වෙලා. ගමේ ඉපදුණු ගම් වැසියන්ට නිදහසේ ජීවත් වෙන්න තිබුණු අයිතියත් නැතිවෙලා. ඒ අයිතිය දිනාගන්න දුප්පත් අපිට හැකියාවක්‌ නැහැ. මැණික්‌ සොය සොයා නිකම් වැඩකට නැති පොළොවක්‌ දහස්‌ ගණන් පිරිස්‌ තවම කඩනවා. ඒ නිස්‌සර දේවල් නතර කරලා මේ අහිංසක ගම්වැසියන්ට එදා වගේ ජීවත් වෙන්න ඕන පසුබිම නිර්මාණය කරලා දෙන්න කියන ඉල්ලීම වගකිවයුතු ඇත්තන්ට දන්වා සිටිනවා.

එම්. ඒ. නන්දසේන (49) මහතා - තම්මැන්නාවැව ගම්වැසියන්ට මැණික්‌ ලැබුණේ නෑ. ලැබුණත් රුපියල් දහස්‌ ගණන්වල කෑලි කිහිපයක්‌. කවුරුත් දැන් හිතාන ඉන්නේ අපි ලක්‍ෂපතියෝ කියලා. මැණික්‌ පොළොවක්‌ උඩ හිටියත් වාසනාව නැති නිසා අපි තාම කුලීවැඩයි, ගොවිතැනයි කරනවා. මැණික්‌ නිසා අපිට යන්න එන්න තිබුණු පාරත් නැති වුණා. කාඩ් එකක්‌ පෙන්නලා ගමට ඇතුළු වෙන තත්ත්වයට අපි පත් වුණා. ජීවත් වෙන්න තිබුණු සියල්ල විනාශ වෙලා ඉවරයි. ගෙදර දොරේ මොනවත් තියා ගන්න බෑ. ඇඳුමක්‌ සෝදලා වේළෙන්න දැම්මොත් ඒක නෑ. පතල් කපන්න මිනිස්‌සු අරන්. ගිහින් වළං ටික සෝදලා එළියේ තියන්න බෑ. ඒක අරන් යනවා. අපේ ගෙවල්වල තියන වැසිකිළියකට යන්න බෑ. ඒවා අපවිත්‍ර කරලා. තවමත් මේ වැඩ සිදු වෙනවා. දැන්වත් නීති දමලා හරි අපිට අපේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න කියන ඉල්ලීම කරනවා.

වී. ජී. පේමාවතී (67) මහත්මිය -

කවුරු කවුරුත් තම තමන්ගේ ප්‍රශ්න ටික මැණික්‌ නිසා වහගත්තා. අපිට ඉතුරු වුණේ විසඳුමක්‌ නැති ප්‍රශ්න ටිකක්‌ විතරයි. එක දවසකට දහ පහළොස්‌ දහසක්‌ ඇවිත් නිකරුණේ ගම විනාශ කිරීමත් අපිට නිදහසේ ඉන්න නොදීමත් ඉවසන්න බැරිම තැන අපි සංවිධානය වෙලා ගමේ අයව ඉවත් කළා. එතෙක්‌ අපේ නිදහස ගැන කිසිම වගකිවයුතු අයෙක්‌ සොයා බැලුවේ නෑ. අදටත් අපි ගැන. අපිට සිදු වෙච්ච පාඩුව අසාධාරණය ගැන සොයන්නේ නෑ. මැණික්‌ සොයන වැඩෙයි කරන්නේ. අපේ ගමට එක වතුර බිංදුවක්‌ නැතුව වල් අලි උවදුරෙන් මිරිකෙමින් කුප්පි ලාම්පුවෙන් අපි ජීවත් වුණේ. ඒ ගැන කවුරුත් සොයා බැලුවේ නෑ. අද මැණික්‌ බලන්න බලධාරීන් ගම පුරාම යනවා.

කේ. ජී. සුනිල් ශාන්ත (46) මහතා - මගේ ගේ බේරා ගත්තේ බොහොම අමාරුවෙන්. පේමන්ට්‌ එක ගාවට එනකම් පොළොව බින්දා. වත්තේ දරුවන්ට කන්න දෙන්න තිබුණු පොල්, තැඹිලි, පලතුරු ටික ඔක්‌කොම විනාශ කළා. කම්බි වැටවල් ගලවලා දැම්මා. අඩුම තරමින් කිට්‌ටුව ගමකටවත් යන්න බැරි තැනට අපිව පත් කරලා තියෙන්නේ. අපි පිටින් එන අයට පහර දෙනවා කියලා. අපිට ලැබුණු මැණිකක්‌ නෑ. පිට මිනිස්‌සුයි, බලවත්තුයි ඒවා අරගෙන ගියා. පිංසිද්ධවේවි අපිට අපේ පාඩුවේ ජීවත් වෙන්න දෙන්න. අපි තම්මැන්නාවැව හිටියාට එදා වාගෙම අසරණයි.

මැණික්‌ නිධිය හමු වූ තම්මැන්නා වැව ප්‍රදේශවාසීන් මේ වන විටත් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති අතර ඔවුන්ගේ මෙම අපහසුතා සහ දුෂ්කරතා පිළිබඳව සොයා බැලීමට මෙතෙක්‌ කිසිදු වගකිව යුත්තකු ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණක්‌ වන අතර රටේ අනෙක්‌ ප්‍රදේශවල පුරවැසියන්ට සේ මෙම ගම්මානයේ වැසියන්ට පෙර සේ තමන්ගේ දෛනික කටයුතු සිදු කරගෙන යමින් නිදහසේ ජීවත් වීම සඳහා වූ පරිසරයක්‌ නිර්මාණය කරදීම සඳහා කඩිනම් පියවර ගත යුතුව ඇත.


http://www.divaina.com/2012/03/14/provin02.html

No comments:

Post a Comment