Tuesday, March 20, 2012

ජීවිත හා දේපළ අහිමිව රිලවුන් නිසා දස දුක්‌ විඳින හඟුරන්කෙත ගම්වල මිනිසුන්

හඟුරන්කෙත - ඒ. එම්. අත්තනායක


වසර කීපයක සිට හඟුරන්කෙත ප්‍රදේශයේ ගම්මානවල වැසියන්ට අලුතෙන්ම කරදරයකට මුහුණ දෙන්න සිදුවෙලා. ඒ රිලා හානියි. මහනුවර උඩවත්ත කැලේ සිටි රිලවුන් 3000 ක්‌ පමණ වසර 5 කට ඉහත දී රන්දෙනිගල රක්‌ෂිතයට ගෙනැවිත් මුදාහැරියා. ඒ රිලව් බෝවී 15000 ක පමණ ප්‍රමාණයක්‌ දැන් ගම්වැදී මහා විනාශයක්‌ සිදු කෙරෙනවා. මෙසේ වගාවන්ට හානි කරන රිලවුන්ට ඇටවූ විදුලි රැහැන් වල පැටලී ඉකුත් දෙසැම්බර් 25 දා මතුරට ඔකදගල ගම්මානයේ එකම පවුලේ මව පියා දරුවා මිය ගියා.

මේ නිසා දැන් රිලවුන් විනාශ කරන්න ප්‍රදේශයේ මිනිස්‌සු බයයි. රිලා කරදරය නිසා එකම නිවසේ පියා හා පුතාට මරණය අත්වීමේ පුවතක්‌ රිකිල්ලගස්‌කඩ පහන්ගමුව ගොවි ගම්මානයෙන් වාර්තා විය.

එම පහන්ගමුව නිවසේ දැනට සිටින එච්. එම්. හීන්මැණිකේ (64) මහත්මිය තමන්ට ස්‌වාමියා හා පුතා අහිමිවීම රිලවුන්ගෙන් සිදුවූ ආකාරය මෙසේ විස්‌තර කළා. මේ රිලා හානි කාලයක සිට අපට තිබෙනවා. වගාවල් හා ගෙදරදොරත් විනාශ කරනවා. අපි කුඹුරුවලට ගිහින් එනකොට ගෙවල්වල තිබෙන කෑමත් කාලා ගිහින්.

රිලව් අපිට මොන හානි කළත් උන්ට හානි කරන්නට අප බයයි. ඒ හින්දා ගෙවල් ළඟටම ඇවිත් උන් කරදර කරන්නේ. මගේ ස්‌වාමියාත් පුතාත් අහිමි වුණේ එහෙමයි. පසුගියදා මගේ ස්‌වාමියා ( අයි. එම්. රම්බණ්‌ඩා අවු. 67) උදේ මිදුල අතුගගා හිටියා. ඒ වෙලාවේ එතනම තිබුණ කොස්‌ගහට රිලව් රංචුවක්‌ ආවා. ඔවුන් ඉදිච්ච ගෙඩි කන්නට පටන් ගත්තා. අමුගෙඩි කඩා දමන්න පටන් ගත්තා. එයින් එකක්‌ බිම අතුගගා හිටියා. මගේ ස්‌වාමියාගේ කොන්දට වැටුණා. බිම ඇද වැටුණු එයා ගමේ අය එකතු වෙලා ඉක්‌මනින් රිකිල්ලගස්‌කඩ ඉස්‌පිරිතාලෙට අරන් ගියා. එයා ඒ වනවිටත් මිය ගිහින්. සුසුම්නාවට බරපතළ හානි වීමෙන් මරණය සිදුවූ බව මරණ පරීක්‍ෂණයේදී කිව්වා. රිලා කරදරවලට ගොදුරු වෙච්ච මගේ පුතාත් වසරකට පමණ පෙර මිය ගියා. එයා වැඩ කළේ පොලිසියේයි. නම අයි. එම්. ආරියපාල. මිය යනකොට වයස අවුරුදු 27 යි. එයා නිවාඩුවට ගෙදර ඇවිත් හිටියා. ඒ කාලෙත් රිලා හානි හරියට තිබුණා. අපේ මිදුල ළඟම තිබෙන කොස්‌ගහේ අතු ගෙදර වහලයට පාත්වෙලා තිබුණා. රිලව් ඒ අත්ත දිගේ වහලයට බැහැලා ගෙටත් රිංගලා හානි කරනවා. මේ කරදරේ ඉවසන්න බැරි නිසා කොස්‌ අත්ත කපා දමන්න ඕන කියලා එයා ගහට නැග්ගා. එතකොට ගහේ රිලව් හිටියා. අත්ත කපන්ට ගහට නැග්ග පුතා උන්ට බයවෙලා ගහෙන් බිමට වැටිලා මිය ගියා. ඔය විදිහට රිලා උවදුර නිසා මට ස්‌වාමියාත් පුතාත් අහිමි වුණා. අපට වෙලා තිබෙන කරදර කාටද කියන්නේ. දැන් අපට වෙලා තිබෙන්නේ මේ පාරම්පරික ගෙවල් අතහැරලා වෙන කොහාට හරි යන්නයි. ඒත් කොහෙට කියලා යන්ට දැයි ඇය කඳුළු පිරි නෙතින් පැවසුවා.


http://www.divaina.com/2012/03/20/provin01.html

No comments:

Post a Comment