Monday, March 19, 2012

මීගස් යටින් මැණික් ඉල්ලම්

පාර රැකගන්න පොලිස් ආරක්ෂාව

රත්නපුර දිසා විශේෂ නිරෝෂණ පෙරේරා

රත්නපුරයේ මාර්ගයක් පුළුල් කිරීමේදී කපා දැමූ මීගහක් යටින් මැණික් ඉල්ලම් මතුවීමෙන් දහස් ගණනක් දෙනා ඉල්ලම් පස් රැගෙන යාමට වෑයම් කරති.

රත්නපුර වෙරලුප මාර්ගය පුළුල් කිරීමේදී මැණික් ඉල්ලම් මතුවූ ස්ථානය. ප්‍රදේශවාසීන් ඊයේ 18 උදේත් ඉල්ලම් රැගෙන යාමට උත්සාහ කරමින්. ඡායාරූපය - රත්නපුර දිසා විශේෂ නිරෝෂණ පෙරේරා

රත්නපුර වෙරලුප මාර්ගය රැකීමට පොලිස් ආරක්ෂාවද ඊයේ සිට යොදවනු ලැබීය.

පසුගිය සිකුරාදා (16) පස්වරුවේ රත්නපුර වෙරලුප මාර්ගය පුළුල් කිරීමට වෙරලුප මංසන්ධියේ මීගස කපා දමා තිබේ. මී ගසේ මුල් සතර අත විහිදී තිබුණි. එම මුල් ආශ්‍රිතව මැණික් ඉල්ලම් තිබෙනු දුටු ගම්වාසීහු රාත්‍රියේ පැමිණ ඉල්ලම් පස් රැගෙන ගියහ.

මාර්ගයටද හානි සිදු කරමින් පතල් කැපීම නිසා රත්නපුර පොලිසිය පැමිණ අහසට වෙඩි තබා ප්‍රදේශවාසීන් පළවා හැරියේය.

සෙනසුරාදා (17) වනදාද වරින්වර ගම්වාසීන් විසින් වෙරලුප මාර්ගයේ පතල් වළවල් කපා තිබුණි. ඒ නිසා එම ප්‍රදේශය රැක ගැනීමට පොලිස් ආරක්ෂාව යෙදවීමට සිදු වූ බව රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක සේනක වීරසිංහ මහතා කීවේය.

ඊයේ 18 උදය වරුවේදීත් ප්‍රදේශවාසීන් මැණික් ඉල්ලම් රැගෙන යාමට තැත් කළත් පොලිසිය ඊට ඉඩ නොදුන්හ.

රත්නපුර නගරයේ වාහන තදබදයට විකල්පයක් ලෙස වෙරලුප මාර්ගය පුළුල් කිරීම නගර සභාව විසින් සිදුකරයි. ඒ සඳහා ගස් කපා ඉවත් කරද්දී මෙම මැණික් ඉල්ලම පෑදී ඇත. වෙරලුප වෙල්යායේද බලපත්‍ර ඇති පතල් සිදුකරයි.


http://www.dinamina.lk/2012/03/19/_art.asp?fn=n1203199

No comments:

Post a Comment