වෛද්‍ය නිර්දේශ නොමැතිව 'කොරෙක්‌ස් ඩී සහ ට්‍රැමඩෝල්' විකිණූ ඔසුසලක් වටලයි
අජිත් අලහකෝන් සහ ප්‍රභාත් විතාන
වෛද්‍ය නිර්දේශ නොමැතිව විවිධ පුද්ගලයන් වෙත කොරෙක්‌ස් ඩී සහ ට්‍රැමඩෝල් නමැති ඖෂධ අලෙවි කළ පෞද්ගලික ඔසුසලක් ඊයේ (15 දා) රාවතාවත්තේදී විලවුන් උපකරණ හා ජාතික ඖෂධ අධිකාරියේ නිලධාරීන් විසින් වටලා ඇත.
මෙම ඔසුසැල් නීති විරෝධීව අලෙවි කිරීම සඳහා ගබඩාකර තිබූ කොරෙක්‌ස් ඩී බෝතල් 800 ක් පමණ සහ ට්‍රැමඩෝල් නමැති පෙති එක්‌ලක්‍ෂ පනස් දහසක්‌ද අත්අඩංගුවට ගත් බව විලවුන් උපකරණ හා ජාතික ඖෂධ අධිකාරියේ අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා "දිවයින"ට කීවේය.
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මෙම ඔසුසලෙන් මසකට රුපියල් 24000 බැගින් වැය කර ඉහත ඖෂධ මිලට ගෙන භාවිත කරන පුද්ගලයකු විසින් ලබාදුන් ඔත්තුවක් මත ඖෂධ අධිකාරිය එම ඔසුසල වැටලූ බවද වෛද්‍ය බෙනරගම මහතා කීවේය.
මෙම ඖෂධ වර්ග දෙක අලෙවි කිරීම සඳහා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකුගේ නිර්දේශයක් තිබිය යුතු අතර සෑම පෞද්ගලික ඔසුසලකම වෛද්‍ය නිර්දේශ ලේඛනයක්‌ද පවත්වාගෙන යායුතු බව බෙනරගම මහතා කීවේය. එහෙත් මෙම ඔසුසලේ එවැනි ලේඛනයක්‌ද පවත්වාගෙන ගොස් නොමැති බවද අනාවරණය වී තිබේ.
එම ඔසුසලට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවද එහි බලපත්‍රය අහෝසි කිරීම සඳහා නීති උපදෙස් ගන්නා බවද වෛද්‍ය බෙනරගම මහතා කීවේය.
මේ අතර මෙම ඖෂධහල පරීක්‍ෂා කරන අවස්‌ථාවේදී ඖෂධ ලබාගැනීමට පැමිණි මත්කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයෝ 15 දෙනෙක් පමණ පොලිස් අත්අඩංගුවට පත්ව සිටිති.
විලවුන් උපකරණ හා ඖෂධ පාලන අධිකාරියේ අධ්‍යක්‍ෂ හේමන්ත බෙනරගම, එම අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරයකු වන අමිත් පෙරේරා, මහින්ද සිරිකුමාර, අජිත් රෝහණ යන නිලධාරීන් හා මොරටුමුල්ල පොලිසියේ පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න සිල්වා මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකරන ලදී.
http://www.divaina.com/2012/03/16/news04.html
ෆාමසියක නීති විරෝධී ලෙස ගබඩා කළ ඖෂධ තොගයක්
සිතාරා සේනානි
පෞද්ගලික ඔසු සලක නීති විරෝධී ලෙස අලවිය සඳහා ගබඩාකර තිබූ ඖෂධ විශාල තොගයක් ඊයේ (15) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමට විලවුන් උපකරණ හා ජාතික ඖෂධ අධිකාරියේ නිලධාරීහු සමත් වූහ.
මෙතෙක් පෞද්ගලික ඔසු සලක නීති විරෝධී ලෙස මෙම බෙහෙත් වර්ග දෙක ගබඩාකර තිබූ විශාලතම ඖෂධ තොගය බව ඖෂධ අධිකාරිය සඳහන් කරයි.
මාසයකට රුපියල් 24000ක මුදලක් වැය කර භාවිතා කළ පුද්ගලයෙක් විසින් ලබා දෙන ලද ඔත්තුවකට අනුව ඊයේ (15) දින පෙරවරුවේ විළවුන් උපකරණ හා ජාතික ඖෂධ අධිකාරියේ අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම හා එම අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂක මහත්වරුන් පිරිසක් මෙම වැටලීම කළ අතර, පොලිස් දෙපාර්තමේන්තුව ද ඊට සහාය ලබා දී තිබිනි.
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පුද්ගලික ඔසුසැලක් විසින් වෛද්‍ය නිර්දේ්ශ නොමැතිව මෙම ඖෂධ දෙක අලෙවි කරන බවට ඔත්තුව ලබා දුන් පුද්ගලයා පැමිණිලි කර තිබූ අතර, මෙම ඔසුසැල පරීක්ෂා කිරීමේ දී මෙම ඖෂධ අලෙවි කිරීමේ දී පවත්වා ගෙන යා යුතු වෛද්‍ය නිර්දේශ ලේඛනය පවත්වාගෙන ගොස් නැති බව ද අනාවරණය විය.
එමෙන්ම මෙම ඖෂධ නීති විරෝධීව ප්‍රදේශයේ පාසල් දරුවන්ට හා වෙනත් තරුණයින්ට අලෙවි කර තිබේ. වෛද්‍ය නිර්දේශ නොමැතිව මෙම ඖෂධ අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
මෙම ඖෂධ වෛද්‍ය නිර්දේ්ශවලින් තොරව භාවිතා කිරීම මගින් විවිධ අතුරු ආබාධවලට ගොදුරු වේ.
මෙම වැටලීමේ දී නීති විරෝධීව ගබඩා කර තිබූ ඖෂධයෙන් බෝතල් 800ක් හා ඖෂධයෙන් පෙති 20,000ක් පමණ සොයා ගනු ලැබූ අතර මෙම ඔසුසැලට එරෙහිව නඩු පැවරීමටත් ඉදිරියේ දී මෙම ඔසුසැලේ බලපත්‍රය තහනම් කිරීමටත් පියවර ගන්නා බව වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.
මෙවැනි නීතිවිරෝධීව කටයුතු කරන ඔසුසැල් හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බව ද ඒ මහතා පවසයි.
දැනට විළවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය විසින් මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරනු ලබයි.
http://www.dinamina.lk/2012/03/16/_art.asp?fn=u1203161
No comments:
Post a Comment